Last Update  :  2025-01-06 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර තවදුරටත් පෙරමුණේ
අන්තර් සමාජ රග්බි ලීගය

මහනුවර තවදුරටත් පෙරමුණේ

editorial - 2024 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ තෙවැනි සතිය නිමාවට පත්වන විට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. තරග තුනකට සහභාගි වී ප්‍රසාද ලකුණද සමග එම තරග තුනම ජය ලබා සිටින මහනුවර ක්‍රීඩා සමාජය මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 18 කි. 

මහනුවර ක්‍රීඩා සමාජය ආසන්නයටම පැමිණ සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයද සහභාගි වූ තරග තුනම ජයගෙන ඇති නමුත්, එහිදී ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2 කි. එබැවින් ඔවුහු මුළු ලකුණු 17 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. පළමු ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායම සහ දෙවැනි ස්ථානයේ පසුවන හැව්ලෙක්ස් කණ්ඩායම අතර පවතින්නේ ලකුණක පරතරයක් පමණි. 

පළමු සතියේදී විවේකයක් ලබා සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය දෙවැනි සහ තෙවැනි සතිවලදී ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණ සිටියි. ප්‍රසාද ලකුණු 2 ක්ද සමග මේ වන විට ඔවුහු ලකුණු 12 ක් ලබා සිටිති. යුද හමුදාව ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණක් සමග තරග දෙකක් ජය ලබා මුළු ලකුණු 11 කට හිමිකම් කියමිනි. 

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩයමේ තරින්ද රත්වත්තේ සමත්ව සිටියි. උත්සාහක දිනුම් 2 ක්, ප්‍රවර්ථනයන් 17 ක් සහ දඬුවම් පහර 7 ක් සමග ඔහු රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 65 කි. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන හැව්ලොක්ස් කණ්ඩයමේ සැමුවෙල් මධුවන්ත ලකුණු 35 ක් ලබා සිටින්නේ උත්සාහක දිනුම් 2 ක්, ප්‍රවර්ථනයන් 8 ක් සහ දඬුවම් පහර 3 ක් සමගිනි. 

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් සහ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි. 

තෙවැනි සතියේ තරග ප්‍රතිඵල 

  • යුද හමුදාව ලකුණු 32-15 කින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරදවයි. 
  • හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 17-15 කින් පොලිසිය පරදවයි. 
  • සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 38-15 නාවික හමුදාව පරදවයි. 
  • මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 39-28 කින් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවයි. 

 

 


අදහස් (0)

මහනුවර තවදුරටත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.