Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංග මුම්බායි පිල බේරාගනී

මාලිංග මුම්බායි පිල බේරාගනී

ශනුක අරවින්ද - 2019 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර බැංග්ලෝර්හිදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය බැංග්ලෝර් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි. මුම්බායි කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමිනි.

තරගය ජය ගැනීම සඳහා බැංග්ලෝර් පිතිකරුවන්ට ලසිත් මාලිංග යැවූ අවසන් ඕවරයේදී ලකුණු 17 ක් රැස්කිරීමට සිදුවූ නමුත් එහිදී ඔවුන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. කෙසේ වුවත් මෙම තරගයේදී ප්‍රතිවාදීන්ට ලකුණු 47 ක් ලබාදුන් මාලිංගට කඩුලු දවාගැනීමට නොහැකි වූ අතර අවස්ථා දෙකකදී බැංගලෝර් පිතිකරුවන් ලබාදුන් උඩ පන්දු මුම්බායි පන්දු රකින්නන් අතින් ගිළිහී ගියේය.

වේගවත් පිතිහරඹයක නිතර වූ ඒ.බී. ඩිවිලියස් පන්දු 41 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 70 ක් රැස්කළද, ඔහුට බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. නායක විරාට් කෝලි පන්දු 32 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 46 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 187 ක් ලබාගත් අතර මුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා (48) සහ ක්වින්ටින් ඩි’කොක් (23) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.

එහිදී පන්දු 33 කට මුහුණදුන් ශර්මා හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කළ අතර පන්දු 20 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

සුර්යකුමාර් යාදව් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළ අතර යුවරාජ් සිං පන්දු 12 කදී ලකුණු 23 ක් රැස්කළේ යුස්වින්ද්‍ර චාහල්ගේ පන්දු 3 ක් හමුවේ පිට පිටම එල්ල කළ දැවැන්ත හයේ පහර 3 ක් සමගිනි.

මුම්බායි ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 14 කින් ලකුණු 32 ක් රැස්කළේ ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත කරමිනි.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගත් අතර යුමේෂ් යාදව් සහ මොහොමඞ් සිරාජ් කඩුලු 2 බැගින් බැගින් බිඳහෙළමින් මුම්බායි පිතිකරුවන් දමනය කිරීම සඳහා චාහල්ට අනගි සහායක් ලබාදුන්හ.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 187
(ක්වින්ටින් ඩි’කොක් 23, රෝහිත් ශර්මා 48, සූර්යකුමාර් යාදව් 38, යුවරාජ් සිං 23, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 32, යුස්වේන්ද්‍ර චාහල් 38/4, යුමේෂ් යාදව් 26/2, මොහොමඞ් සිරාජ් 38/2)

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 181
(පාර්තිව් පටේල් 31, විරාට් කෝලි 46, ඒ.බී. ඩිවිලියස් නොදැවී 76, ජස්ප්‍රීට් බුම්රා 20/3)
 
-036

 


අදහස් (0)

මාලිංග මුම්බායි පිල බේරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.