Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව් - කිමිකෝ - කයිල් ශ්‍රී ලංකාව රනින් බබළවති

මැතිව් - කිමිකෝ - කයිල් ශ්‍රී ලංකාව රනින් බබළවති

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනය වූ අද (21 වැනිදා) සිය 5 වැනි රන් පදක්කමත් දිනාගැනීමට මැතිව් අබේසිංහ, කිමිකෝ රහීම් සහ කයිල් අබේසිංහ සමත් වූහ.

අද දිනයේදී බාලක - වයස 18 න් ඉහළ මීටර් 100 නිදහස් ආර ඉසව්ව සහ බාලක - වයස 18 න් ඉහළ මීටර් 400 නිදහස් ආර සහය ඉසව්වට සහභාගි වූ මැතිව් අබේසිංහ එහිදී රන් පදක්කම් 2 ක් දිනාගනිමින් සිය රන් පදක්කම් සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ දමාගත්තේය.

චෙරන්ත ද සිල්වා, එස්. බී. ද සිල්වා සහ ඩිලෝන් අබේසිංහ බාලක වයස 18 න් ඉහළ මීටර් 400 නිදහස් ආර සහය කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩකයෝ වූහ.  

කිමිකෝ රහීම් සිය රන් පදක්කම් සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ දමාගැනීමට සමත් වූයේ අද දිනයේදී සහභාගි වූ ඉසව් දෙකේදීම (බාලිකා වයස 18 න් පහළ මීටර් 200 පසුපස ආර සහ බාලිකා වයස 18 න් පහළ මීටර් 400 නිදහස් ආර සහාය) රන් පදක්කම් දිනාගනිමිනි.  

විනෝලි කළුආරච්චි, නවීෂා කරුණානායක සහ ශෙහාන්ති ගුණවර්ධන බාලිකා වයස 18 න් පහළ මීටර් 400 නිදහස් ආර සහාය කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩිකාවෝ වූහ.

තෙවැනි දිනය ආරම්භ වන විටත් රන් පදක්කම් 4 ක් දිනා සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා ඉදිරියෙන් සිටි කයිල් අබේසිංහගේ පළමු රන් පදක්කම් බලාපොරොත්තුව අද දිනයේදී බිඳවැටී ගියේය. ඒ ඔහු සහභාගි වූ පළමු ඉසව්ව වූ බාලක වයස 18 න් පහළ මීටර් 100 සමනල ආර ඉසව්වේදී ඉන්දීය ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි. එහිදී ඔහුට රිදී පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

කෙසේ වුවත් අද දිනයේ පැවැති අවසන් ඉසව්ව මෙන්ම තමා සහභාගි වූ දෙවැනි ඉසව්ව වූ බාලක වයස 18 න් පහළ මීටර් 400 නිදහස් ආර සහය ඉසව්වේදී රන් පදක්කමක් දිනාගනිමින් සිය රන් පදක්කම් සංඛ්‍යාව 5 ක් දක්වා වර්ධනය කරගැනීමට කයිල් අබේසිංහට හැකි විය.

අකලංක පීරිස්, කවින්ද්‍ර නුගවෙල සහ දිලංක ශෙහාන් වයස 18 න් පහළ මීටර් 400 නිදහස් ආර සහය කණ්ඩායම නියෝජනය කළ සෙසු සාමාජිකයෝ වූ අතර මෙම තරගයේදී දිනාගත් රන් පදක්කම අකලංක පීරිස්ගේ සිව්වැනි රන් පදක්කම විය.  

එම රන් පදක්කම් 5 ට අමතරව අද දිනයේදී තවත් රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් දිනාගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඒ අනුව තෙවැනි දිනය නිමාවන විට පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකාව රන් පදක්කම් 19 ක්, රිදි පදක්කම් 46 ක් සහ ලෝකඩ පදක්කම් 73 ක් සමගින් දිනා සිටින පදක්කම් සංඛ්‍යාව 136 කි.

රන් පදක්කම් 90 ක්, රිදී පදක්කම් 60 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් සමගින් සමස්ත පදක්කම් 124 ක් දිනා සිටින ඉන්දියාව තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණේ පසුවෙයි. සිය පදක්කම් ගොන්නට අද දිනයේදී අලුතින් රන් පදක්කම් 24 ක්, රිදී පදක්කම් 13 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් එක්කර ගැනීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

 

පදක්කම් සටහන (තෙවැනි දිනය අවසානයේ)

රට         රන්  රිදී  ලෝකඩ  එකතුව 
ඉන්දියාව        90 60 14 164
ශ්‍රී ලංකාව       19 46 73 136
බංග්ලාදේශය   02 02 04 08
පාකිස්තානය    01 01 02 04
මාලදිවයින      00 02 12 14
නේපාලය  00 00 01 01

අදහස් (0)

මැතිව් - කිමිකෝ - කයිල් ශ්‍රී ලංකාව රනින් බබළවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.