Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් අයි.පී.එල්. වෙන්දේසියෙන් කැපෙයි

මැතිව්ස් අයි.පී.එල්. වෙන්දේසියෙන් කැපෙයි

editorial - 2023 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙවර (2024) ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8 ක් පමණ) මූලික ලන්සුවක් යටතේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ඒ සඳහා වන අවසන් ලැයිස්තුව සකස් කිරීමේදී ඉවතට විසිවී තිබේ. ඒ අනුව ඔහුගේ නම මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකෙරෙනු ඇත. 

මැතිව්ස්ට අමතරව මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 32 දෙදෙනෙක් ලියපදිංචි වී සිටියද, අවසන් ලැයිස්තුව සකස් කිරීමේදී ඉන් ක්‍රීඩකයන් 24 දෙනෙකුගේම නම් ඉවත් කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ. ඒ අනුව මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකුට පමණි. 

වෙන්දේසිය සඳහා වැඩිම මූලික ලන්සුවකට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගය. ඉකුත් වසර දෙකේදී (2022 සහ 2023) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළද, මෙම වසරේදී එම කණ්ඩායමෙන් නිදහස් කළ වනිඳු, මෙවර ලියාපදිංචි වී ඇත්තේ වෙන්දේසියේ දෙවැනි ඉහළම ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 1.5 ක ලන්සුව සඳහාය. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 6 ක් පමණ වේ. 

වනිඳුට අමතරව කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, චරිත් අසලංක, ඩිල්ෂාන් මධුෂංක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයෝද මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීම සඳහා සකස් කර ඇති අවසන් ලැයිස්තුවට ඇතුළත්ව සිටිති. ඔවුන් සියලු දෙනාම ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික ලන්සුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 2 කට ආසන්න වේ.

මෙවර වෙන්දේසිය සඳහා ඉන්දීය ක්‍රීඩකයන් 830 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 336 ක් ලියාපදිංචි වී සිටි අතර ඔවුන් අතරින් අවසන් ලැයිස්තුව සඳහා ඉන්දීය ක්‍රීඩකයන් 214 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 119 ක් තෝරාගනු ලැබ තිබේ. ඒ අතරින් ක්‍රීඩකයන් 116 ජාත්‍යන්තර වරම් දිනා ඇති අතර සෙසු ක්‍රීඩකයන් 217 දෙනාම තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැත. 

කණ්ඩායම්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කරගැනීම සඳහා මෙවර වෙන්දේසිය පැවැත්වෙන අතර ඉන්දීය ක්‍රීඩකයන් 77 දෙනෙක් සහ විදෙස් ක්‍රීඩකයන් 30 දෙනෙක් තෝරා ගැනීම වෙනුවෙන් කණ්ඩායම් 10 මෙවර වෙන්දේසියට සහභාගි වනු ඇත. මෙම මස 19 වැනිදා ඩුබායි නුවරදී වෙන්දේසිය පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

මැතිව්ස් අයි.පී.එල්. වෙන්දේසියෙන් කැපෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.