Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිලර්ගේ වේගවත් ශතකය අපතේ යයි

මිලර්ගේ වේගවත් ශතකය අපතේ යයි

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ගුවහටි නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 16 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 238 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221 ක් පමණි. එහිදී ප්‍රහාරත්මක පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සමග පන්දු 47 කින් නොදැවී ලකුණු 106 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

ලකුණු 47 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී පිටියට පිවිසි මිලර්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ක්වින්ටින් ඩි’කොක් (නොදැවී 69) සමග එක්ව පන්දු 84 කදී ලකුණු 174 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. පන්දු 48 කදී වාර්තා වූ ඩි’කොක්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහ 3 කින් සමන්විත විය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 237 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් (57) සහ සූර්යකුමාර් යාදව් (61) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 28 කදී වාර්තා වූ රාහුල්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කට මුහුණදුන් යාදව් හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසුවේය.

නායක රෝහිත් ශර්මා පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. විරාට් කෝලි පන්දු 28 කින් නොදැවී ලකුණු 49 ක් රැස්කළේද හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 7 කට මුහුණදුන් දිනේෂ් කාර්තික් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 17 ක් ලබාගත්තේය.


ඉන්දීය පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 237
(ලෝකේෂ් රාහුල් 57, රෝහිත් ශර්මා 43, විරාට් කෝලි නොදැවී 49, සූර්යකුමාර් යාදව් 61, දිනේෂ් කාර්තික් නොදැවී 17, කේෂව් මහරාජ් 23/2)

දකුණු අප්‍රිකානු පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 221
(ක්වින්ටින් ඩි’ කොක් නොදැවී 69, ඒඩ්න් මාක්‍රම් 33, ඩේවිඩ් මිලර් නොදැවී 106, අර්ෂ්දීප් සිං 62/2)

-036

 


අදහස් (0)

මිලර්ගේ වේගවත් ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.