Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි පිලට ලකුණු 102 ක දැවැන්ත ජයක්

මුම්බායි පිලට ලකුණු 102 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 41 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 102 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඕවර 18.1 ක් අවසානයේ ලකුණු 108 කට සීමා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදි දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෘනාල් පාණ්ඩ්‍යා සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් දවාගනිමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යද්දී කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නිටිෂ් රානා පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක් රැස්කළේය. ක්‍රිස් ලයන් පන්දු 15 කදී ලකුණු 21 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 210 ක් රැස්කළේය.

එහිදී වේගවත් පිතිරඹයක නිරත වූ ඉෂාන් කිෂන් පන්දු 21 කින් ලකුණු 62 ක් රැස්කළ අතර ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. නායක රෝහිත් ශර්මා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 36 ක්ද, සූර්යකුමාර් යාදව් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 36 ක්ද රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 9 කට මුහුණදුන් බෙන් කටින් එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක් රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවි 210
(සූර්යකුමාර් යාදව් 36, එවින් ලුවිස් 18, රෝහිත් ශර්මා 36, ඉෂාන් කිෂන් 62, හර්දික් පාණ්ඩ්‍යා 19, බෙන් කටින් 24, පියුෂ් චවුලා 48/3)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 108
(ක්‍රිස් ලයන් 21, නිටිෂ් රානා 21, ටොම් කරන් 18, කෘනාල් පාණ්ඩ්‍යා 12/2, හර්දීක් පාණ්ඩ්‍යා 16/2)

-036

 


අදහස් (0)

මුම්බායි පිලට ලකුණු 102 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.