Last Update  :  2025-04-05 08:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙසී ශාන්ත ජර්මේන් පිලට

මෙසී ශාන්ත ජර්මේන් පිලට

editorial - 2021 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමෙන් පසු ප්‍රංශයේ පැරිස් ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජය සමග වසර 2 ක ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ලයනල් මෙසී එකඟ වී ඇතැයි වාර්තා වේ. ඔහු එවැන්නකට එකඟ වී සිටින බව මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී මහතා ස්ථිර කර තිබේ.

පැරිස් නුවරදී  වෛද්‍ය පරීක්ෂකට පෙනී සිටීමෙන් අනතුරුව ඔහු එම ගිවිසුම අත්සන් කරනු ඇතැයි ද අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

ආර්ජන්ටිනාවේ ජාතික කණ්ඩායමේ ‍නායකත්වය ‍දරන නමුත් 34 හැවිරිදි මෙසී, සිය ක්‍රීඩා දිවියේ වසර 21 ක් ම ක්‍රීඩා කළේ ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙනි.

තමන් මහත් ආදරය කරන බාර්සිලෝනා පිලෙන් ඉවත්වන බව මෙසී පසුගිය සඳුදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසීය. තමන්ට කලින් ගෙවන ලද වැටුපෙන් 50% ක් වෙනුවෙන් බාර්සිලෝනා පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙසී එකඟතාව පළකළද ඔහු රඳවා ගැනීමට බාර්සිලෝනා පාපන්දු සමාජය අපොහොසත් විය.

ඒ සම්බන්ධයෙන් බාර්සිලෝනා ක්‍රීඩා සමාජ නිලධාරිහු ස්පාඤ්ඤ පාපන්දු ලෝලීන්ගේ උදහසට ලක්ව සිටිති.

හයවතාවක්ම ‘බැලන් ඩි'ඕර්‘ හෙවත් වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ඇති මෙසී, පැරිස්හි ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජය සමග එක්වන විට ආර්ජන්ටිනාව වෙනුවෙන් මෙන්ම බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන්ද වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා බවටද පත්ව සිටියේය. බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග 778 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ගෝල 682 ක් ලබාගැනීමට සමත් විය.

පැරිස් නුවර බලා පිටත්වීම සඳහා මෙසී බාසිලෝනා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවත්, ඔහුගේ පියා සහ තවත් නියෝජිතයකුද ඔහු සමග සිට ඇති බවත් ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව තවත් දින කිහිපයකින් මෙසීගේ ක්‍රීඩා ලෝලීන්ට ඔහු ලොව ප්‍රධාන පෙළේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් දෙපලක් වන බ්‍රසීලයේ නේමාර් ද සිල්වා සහ ප්‍රංශයේ කයිලියන් බාපේ සමග එක්ව ශාන්ත ජර්මේන් කණ්ඩායමට ක්‍රීඩා කරන අයුරු දැකගත හැකි වනු ඇත.

මෙසීට අමතරව රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ස්පාඤ්ඤයේ පසුපෙළ ක්‍රීඩක සර්ජියෝ රැමෝස් සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ නෙදර්ලන්තයේ මැදපෙළ ක්‍රීඩක ජෝජීනියෝ විනල්ඩම්ද මීළඟ තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජය සමග එක්වී සිටිති.

2020 යූරෝ කුසලාන දිනූ ඉතාලි කණ්ඩායමේ දැල රකින ක්‍රීඩක ජියන්ලුයිගි ඩොන්නරුමාද ඒ.සී. මිලාන් ක්‍රීඩා සමාජය සමග පැවැති ගිවිසුම අවසන් වීමෙන් පසුව ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජය සමග එක් වීමට පියවර ගෙන තිබේ.

 

-036

 

 


අදහස් (0)

මෙසී ශාන්ත ජර්මේන් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.