Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේක අවසන් උත්සාහය විය හැකියි - මහේල

මේක අවසන් උත්සාහය විය හැකියි - මහේල

Nisanka Sandeepani - 2017 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් උපදේශක කමිටුවේ තීරණ ඉදිරියේදී ක්‍රියාත්මක නොවන්නේ නම් තවදුරටත්  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කාලය වැය කිරීමට තමන් සූදානම් නැතැයි  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ (3) පස්වරුවේදී පැවැති මාධ්‍යවේදීන්ගේ හමුවකදී පැවසීය.

එසේ වුවහොත් ක්‍රිකට් උපදේශක කමිටුවේ කටයුතු කරන තමන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙහෙසෙන අවසන් ප්‍රයත්නය ලෙස එය සඳහන් කළ හැකි බවත් ඔහු පැවසීය. 

ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකු වන හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශක කමිටුව ඊයේ පස්වරුවේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේදී රැස්විය. 

මහේල ජයවර්ධන මහතා හැරුණුකොට එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා,  කුමාර් සංගක්කාර් හා රුවන් කෑරගල (ලේකම්) යන මහත්වරුන්ය. ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයකු ලෙස කමිටුවේ සාකච්ඡා සඳහා ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ද ඊට සහභාගි විය. 

ක්‍රීඩා අමාත්‍යාංශයේ කැඳවීම අනුව එම කමිටුවේ ඊයේ පැවැති සාකච්ඡාව පිළිබඳව කරුණු දැනගැනීම සඳහා මාධ්‍යවේදීන් පස්වරු 5.00 ට ක්‍රීඩා අමාත්‍යවරයාගේ රැස්වීම් ශාලාවට පැමිණ සිටියත් කමිටුව සාකච්ඡාව අවසන් කර මාධ්‍යවේදීන් මුණ ගැසෙන විට රාත්‍රී 7.00 ද පසුවී තිබුණි.

එම අවස්ථාවේදී ඔවුන්ට අදහස්  දැක්වීමක් නොකරමින්ම කමිටුවේ සභාපති හේමක අමරසූරිය මහතා එම ස්ථානයෙන් පිටව ගියේය. පසුව රැස්වීම් ශාලාවෙන් එළියට පැමිණි අනුර තෙන්නකෝන් මහතා මාධ්‍යවේදීන්ට පැවසුවේ කමිටුව නැවතත් ළඟදීම රැස්වී තවත් සාකච්ඡාවක් පවත්වන බවයි. 

පසුව ශාලාවෙන් එළියට පැමිණි අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන මහත්වරු මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් අනුව ඊයේ පැවති සාකච්ඡාව පිළිබඳව අදහස්  දැක්වූහ.

එම  අවස්ථාවේදී මහේල ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ මීට පෙර අවස්ථාවකදී තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ ක්‍රිකට් සැලැස්මක් ක්‍රියාත්මක නොවූ නමුත් මෙවර එසේ විය නොහැකි බවයි. 

“මේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  පාකිස්තානයට එරෙහිව තරග සංචාරයට සහභාගි වෙලා ඉන්නේ. ඒ අතර කණ්ඩායම ගැන අදහස් දැක්වීම උචිත නැති බවයි මගේ අදහස. කමිටුව තවමත් රැස්වුණා විතරයි” 

“කමිටුව ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම ක්‍රීඩා අමාත්‍යාශයේ වගකීමක් වන බව අප විශ්වාස කරනවා. එහෙම නොවුණොත් වෙන්නේ මේ කටයුත්තෙදී අපේ කාලය අපතේ යැවීමක් පමණයි” යයිද මහේල ජයවර්ධන මහතා පැවසීය.  

මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ කුමාර් සංගක්කාර මහතා පැවසුවේ පැලැස්තර විසඳුම් මගින් රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගත නොහැකි බවත් කෙටිකාලීන  හා දිගුකාලීන විසඳුම් යෝජනාවලියක් තුළින් රටේ කඩාවැටී තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම පිළිබඳව කමිටුව අවධානය යොමුකර තිබෙන බවත්ය. 

රටේ ක්‍රිකට් ක්‍රීඩාව හා තරුණ පරපුර වෙනුවෙන් යුතුකමක් ලෙස තමන් ඇතුළු කමිටුව ඉදිරිපත්වී තිබෙන බවත් පසුගිය කාලයේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීමට හේතුවූ කරුණු ගණනාවක් කමිටුව මේ වනවිට විමර්ශනය කරමින් සිටින බවත් එහිදී අරවින්ද ද සිල්වා මහතා පැවසීය. 

ඒ අනුව කමිටුව ඉදිරියේදී ඉදිරිපත් කරන යෝජනා බලධාරීන් හිතට එකඟව ක්‍රියාත්මක කිරීමට උනන්දු වන්නේ නම් එය කඩාවැටුණු රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමෙහිලා හිතකර යෝජනාවලියක් වනු ඇති බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අරවින්ද ද සිල්වා මහතා  පැවසීය. 

කමිටුවේ ඊයේ පැවැති සාකච්ඡා වාරයෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා මහේල ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇති පරිදි මෙම කටයුත්තේදී  කිසිවකුගේවත් කාලය අපගේ යැවීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු නොකරන බවත් කමිටුව ගෙන එන යෝජනාවලිය නිසි පරිදි ඉදිරියේදී ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රිකට් ආයතනයට මග පෙන්වීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමක් වන බවත් පැවසීය. 


ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් උපදේශක කමිටුව  ඊයේ රැස්වී සිටි අයුරු. 

ඡායාරූප-  ඉසුරු පතිරණ 

 


අදහස් (0)

මේක අවසන් උත්සාහය විය හැකියි - මහේල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.