Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේසපන්දු ක්‍රීඩකයෙක් ඇඟිල්ලට වඩා ඉදිමෙයි

මේසපන්දු ක්‍රීඩකයෙක් ඇඟිල්ලට වඩා ඉදිමෙයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ පරිපාලනයට මැදිහත් වෙමින් එහි තීන්දු තීරණ වෙනස් කිරීමට උත්සාහ දරණ ක්‍රීඩකයකු සිටින බව ‘ලංකාදීප’යට වාර්තා වී තිබේ. තවමත් මේසපන්දු ක්‍රීඩාවේ නිරත වන ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයන් අතරින් අයකු වන මෙම ක්‍රීඩකයා කිහිප වරක්ම ජාතික මේසපන්දු ශූරතාව ජයගැනීමටද සමත් වූ අයෙකි.

තමා ක්‍රීඩකයකු බව අමතක කරමින් මේසපන්දු සංගමයේ පරිපාලන කටයුතුවලට වක්‍රාකාරව මැදිහත් වෙමින් තමාට ඇවැසි පරිදි සංගමයේ තීන්දු තීරණ වෙනස් කිරීමට මෙම ක්‍රීඩකයා බලපෑම් කිරීම මේ වන විට මේසපන්දු ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.

නිත්‍ය සභාපතිවරයකු නොමැති මේසපන්දු සංගමයේ වැඩබලන සභාපතිවරයා ලෙස සිය හිතවතෙකු පත්කර ගැනීමට මුල් වී ඇතැයි කියන මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා, සිය හිතවතා හරහා සංගමයේ සෑම තීරණයකටම බලපෑම් කරන බව මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ සොයා බැලීමකදී දැනගත හැකි වූයේ ඉහත කී වැඩබලන සභාපතිවරයා සංගමයේ විධායක කමිටුවට පත්වී ඇත්තේ මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා නියෝජනය කරන ක්‍රීඩා සමාජයෙන්ම බවයි.

මෑතකදී පැවැති ලෝක ශූරතා මේසපන්දු තරගාවලියට සහභාගි වූ කණ්ඩායමට අතිරේක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනවශ්‍ය බව පවසමින් එම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් දෙදෙනකුට සහ ක්‍රීඩිකාවකට තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි කිරීම පිටුපස සිටින්නේද මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා බව තතු දන්නෝ පවසති.

ලෝක ශූරතා මේසපන්දු තරගාවලියට තෝරාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම ආසියානු ක්‍රීඩා උළෙල සඳහාද සහභාගි කරවන බව ඒ සඳහා පැවැති තේරීම් තරගාවලියට පෙර මේසපන්දු සංගමය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම්දී තිබිණ. එසේ වුවත් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම වෙනුවෙන් නැවත වරක් තේරීම් තරගාවලියක් පැවැත්වීමට එම සංගමය සූදානමින් සිටින බව වාර්තා වේ.

දැනගන්නට ඇති පරිදි ඊට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි විය හැක්කේ ක්‍රීඩකයන් දෙදෙනකුට සහ ක්‍රීඩිකාවකට පමණත් වීමත්, පෙර පැවැති තේරීම් තරගාවලියේදී ලාබාල ක්‍රීඩකයන් දෙදෙනෙක් හමුවේ පරාජය වීම නිසා ඉහත කී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා එහි තෙවැනි ස්ථානයට පත්වීමත්ය.

පෙර පැවැති තේරීම් තරගාවලියෙන් ආසියානු ක්‍රීඩා උළෙලට සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක් සහභාගි කරවන්නේ නම් තමාට ඊට සහභාගි වීමේ අවස්ථාව අහිමි වන බව පවසමින්, ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් නැවත වරක් තේරීම් තරගාවලියක් පවත්වන ලෙස ඔහු සංගමයේ ඉහළ නිලධාරීන්ට බල කර ඇතැයිද වාර්තා වේ.

තරග සංචාර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමේදී ඒ සඳහා අනුමැතිය සහ අනුග්‍රහය ලබාගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය හෝ ජාතික ඔලිම්පික් කමිටුව වෙත යායුත්තේ අදාල සංගමයේ නිලධාරීන් වුවත්, මේසපන්දු ක්‍රීඩාවට සම්බන්ධ විදෙස් තරගාවලිවලට සහභාගි වීමේදී විවිධ කටුයතු සඳහා වැඩි වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශයටත්, ජාතික ඔලිම්පික් කමිටුවටත් යන්නේ මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මේසපන්දු සංගමයේ ලේකම්වරයාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ මේසපන්දු ක්‍රීඩාවේ පරිපාලනයට ඇගිලිගසන පිරිස වැඩි බවත්, ඒ හේතුවෙන් හරි ආකාරව සංගමයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑමේ අසීරුතාවක් හටගෙන ඇති බවත්ය.

“ස්ථිර සභාපති කෙනෙකුත් නැතුව අපි හරිම අමාරුවෙන් තමයි මේ සංගමයේ වැඩ කරගෙන යන්නේ. එහෙම වෙලත් හැමෝම උත්සාහ කරන්නේ තමන්ට වාසි වෙන විදියට මේකේ තීරණ වෙනස් කරන්න. එක එක්කෙනා කියන විදියට වැඩ කරන්න අකමැති නිසා වැඩි කාලයක් යන්න කලින් මම මේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා.” යැයිද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

මේසපන්දු ක්‍රීඩකයෙක් ඇඟිල්ලට වඩා ඉදිමෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.