Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මොංගෝලියානු කණ්ඩායම 15 කට දැවී යයි
ආසියානු ක්‍රීඩා

මොංගෝලියානු කණ්ඩායම 15 කට දැවී යයි

editorial - 2023 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් ඉන්දුනීසියාව සහ මොංගෝලියාව අතර පැවැති තරගයකදී මොංගෝලියාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 15 කට දැවී යාමෙන් පසු කඳුළු සලමින් සිටියේය. තරගයෙන් ඉන්දුනීසියාවට ලකුණු 172 ක දැවැන්ත ජයක් හිමිවිය.
 
චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන ඞෂඞ වැනි ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වන්නේ ලබන 23 වැනිදා (සෙනසුරාදා) වූවත්, එහි ක්‍රිකට්, වොලිබෝල්, වෙරළ වොලිබෝල් සහ පාපන්දු ඇතුළු තරග කිහිපයක්ම ඊයේ (19 වැනිදා) ආරම්භ විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය විස්සයි-20 තරගාවලියකි. එහි කාන්තා තරගයකදී ඉන්දුනීසියාව කඩුලු 4 ක් දැවී ලකුණු 187 ක් ලබාගත් නමුත් පළමු වතාවට අන්තර්ජාතික තරගයකට පිවිසි මොංගෝලියානු කාන්තාවෝ ලකුණු 15 කට දැවී ගියහ.

මොංගෝලියානු කාන්තා කණ්ඩායම කෙතරම් නවක කණ්ඩායමක් ද යත්, ඉන්දුනීසියාවේ ලකුණු 187 න් ලකුණු 49 ක් ම අතිරේක ලකුණු වූ අතර ඒවායින් ලකුණු 38 ක් ම මොංගෝලියානු පන්දු යවන්නියන් විසින් තිළිණ කරන ලද ඒවා විය. ලකුණු 188 ක ඉලක්කයක් කරා යාම පිණිස පිටියට පිවිසි මොංගෝලියානු කාන්තාවෝ, ඕවර 10 කදී ලකුණු 15 කට දැවී ගියහ.

මොංගෝලියාවේ පුහුණුකරු ඩේවිඩ් තලල්ලා පැවසුවේ තම තරුණ කණ්ඩායම ගැන ආඩම්බර වන බවයි. මොංගෝලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ වයස සාමාන්‍යය අවුරුදු 19 ක් වන අතර කණ්ඩායමෙන් හරි අඩක්ම මීට පෙර මොංගෝලියාවෙන් පිටතට පා තබා තිබුණේත් නැත. මොංගෝලියාවේ ඇති කෘතිම තණතීරු මත පමණක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාවන් ස්වභාවික තණතීරුවක ක්‍රීඩා කළ පළමු අවස්ථාවද මෙයයි.

මොංගෝලියානු ක්‍රීඩිකාවන් මෙම තරගය සඳහා භාවිතා කළ ඇඳුම්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් වරක් භාවිතා කර ඉවත දැමූ ඒවාය. කණ්ඩායම සතුව ඇති ක්‍රිකට් පිති හතරම මෙංගෝලියාවේ සිටින ප්‍රංශ තානාපතිවරයාගේ බිරිඳ විසින් පරිත්‍යාග කරන ලද පිති 4 කි. ඇය ඉංග්‍රීසි ජාතික කාන්තාවන් වන අතර ක්‍රිකට් ලෝලියෙකි.

පුහුණුකරු ඩේවිඩ් තලල්ලා ද, වැටුපක් නොලබා, ස්වේච්ඡාවෙන් කණ්ඩායම පුහුණු කරයි. මොංගෝලියානු කාන්තා ක්‍රිකට් සංචිතය ක්‍රීඩිකාවන් 12 කට සීමා වන්නකි.

“අපට ඉන්නේ 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් විතරයි. අපට එක්කරගෙන එන්න පුළුවන් වුණේ එච්චරයි” යයි ලකුණු 15 කට දැවීයාම ගැන සියලුම ක්‍රීඩිකාවන් කඳුළු සලමින් සිටියදී පුහුණුකරු ඩේවිඩ් තලල්ලා පැවසුවේය.


ප්‍රංශ පුවත් ඇසුරිනි

- 213

 


අදහස් (0)

මොංගෝලියානු කණ්ඩායම 15 කට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.