Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෝටර් ක්‍රීඩා සංගමයේ නිලවරණය දෙසැ: 8

මෝටර් ක්‍රීඩා සංගමයේ නිලවරණය දෙසැ: 8

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ (ඔටෝ මොබයිල්) ක්‍රීඩා මවු සංගමයේ නිලවරණය (2016/2018) ලබන මස (දෙසැම්බර්) 8 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එම සම්මේලනයේ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සහ සංගම් වෙත ලිපි යොමුකරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රේසිං සංගමය, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය, දකුණු (සදර්න්) මෝටර් රථ ක්‍රීඩා සමාජය, මෝටර් රේසිං සංගමය, ලංකා (සිලෝන්) මෝටර් රථ ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය, කොළඹ (කලම්බු) මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ මීගමුව (නිගම්බෝ) මෝටර් රථ ක්‍රීඩා සමාජය මෙම නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ක්‍රීඩා සමාජ සහ සංගම් වේ.  

ක්‍රීඩා සමාජයකින් හෝ සංගමයකින් නියෝජිතයන් 5 දෙනෙකුට ඡන්දය භාවිතා කළ හැකි අතර එහිදී නියෝජිතයෙකුට එක් ඡන්දය බැගින් හිමිවේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් වන පරිදි දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ තනතුරු 7 ක් සඳහා නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමට නියමිතය.

එහිදී සභාපති (1), උප සභාපති (2), ලේකම් (1), උප ලේකම් (1), භාණ්ඩාගාරික (1) සහ උප භාණ්ඩාගාරික (1) යන තනතුරු සඳහා නිලධාරීන් ඡන්දයකින් තෝරා පත්කරගැනීමට නියමිත අතර විධායක කමිටුව සඳහා සෑම ක්‍රීඩා සමාජයකින් සහ සංගමයකින්ම සාමාජිකයන් දෙදෙනා බැගින් නම් කළ යුතුය.

දැනගන්නට ඇති පරිදි මෙවර නිලවරණයේ සභාපති ධූරය සඳහා ඉදිරිපත්වීමට දිවයිනේ හිටපු ප්‍රවීන මෝටර් රථ රියදුරෝ දෙදෙනෙක් සූදානමින් සිටිති. ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉතාම පළපුරුදු අයකු වන අතර මීට පෙරද මෝටර් රථ ක්‍රීඩා මවු සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

මෙම නිලවරණය මේ වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, ඡන්ද හිමි ක්‍රීඩා සමාජ 2 කට එරෙහිව පාර්ශවයන් දෙකකින් එල්ල වී තිබූ විරෝධතා විභාග කිරීමට යෑමේදී එය දුරදිග යෑම නිසා නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සිදුවිය.  කෙසේ වුවත් ඉන් මාස 5 කට පසු එම විරෝධතා නිෂ්ප්‍රභා කර විරෝධතා එල්ල වී තිබූ ක්‍රීඩා සමාජ 2 කටද ඡන්ද බලය පිරිනමමින් නැවතත් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අඟහරුවාදා (1 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ කෙරුණ අතර ලබන 8 වැනිදා මධ්‍යාහ්න 12.00 වන තෙක් නාමයෝජනා බාරගැනේ. එදින මධ්‍යාහ්න 12.00 න් පසු ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා විවෘත කෙරන අතර පස්වරු 4.00 සිට ඒ සඳහා විරෝධතා බාරගනු ලැබේ.

මේ මස 11 වැනිදා පෙරවරු 10.00 ට පෙර ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සහ සංගම් වෙනුවෙන් ඡන්ද දායකයන්ගේ නම් ඉදිරිපත් කළ යුතු අතර නාමයෝජනා සඳහා ඉදිරිපත් වී ඇති විරෝධතා 16 වැනිදා 10.30 ට ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී විභාග කෙරේ.  

 


අදහස් (0)

මෝටර් ක්‍රීඩා සංගමයේ නිලවරණය දෙසැ: 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.