Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනය ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති
එල්.පී.එල්. - 2024

යාපනය ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

editorial - 2024 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 6 වැනි තරගය ලෙස ගාල්ල මාවල්ස් කණ්ඩායම සහ යාපනය කිංග්ස් කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය යාපනය ක්‍රීඩකයෝ  පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්ක පසුකර ගියහ. ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ අස්මතුල්ලා ඔමර්සායි පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 35 ක් රැස්කරමින් තරගයේ වීරයා බවටද පත්විය.

නායක චරිත් අසලංක (නොදැවී 14) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 49 නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔමර්සායි සමත් විය.  කුසල් මෙන්ඩිස් පන්දු 16 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක්ද, රිලී රූසොව් පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 67 ක්ද රැස්කරමින් යාපනය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල මාවල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය. ගාල්ල ඉනිමේ නැංගුරම බවට පත්වූ ටිමි සෙයිෆට් පන්දු 63 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 104 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

ලකුණු 45 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී භානුක රාජපක්ෂ (28) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සෙයිෆට් සමත් විය. පන්දු 21 කදී වාර්තා වූ භානුකගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනූ යාපනය කිංග්ස් කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. යාපනය කණ්ඩායම වෙනස්කම් 2 ක් සමග මෙම තරගයට ක්‍රීඩා කළ අතර එහිදී ධනංජය ද සිල්වා සහ ජේසන් බෙරන්ඩෝෆ් වෙනුවට ප්‍රමෝද් මධුෂාන් සහ ඇලෙක්ස් රොස් යාපනය කණ්ඩායමට කැඳවා සිටියහ.

 

ගාල්ල මාවල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 187
(ඇලෙක්ස් හේල්ස් 23, ටිම් සෙයිෆට් 104, භානුක රාජපක්ෂ 28, අස්මතුල්ලා ඔමර්සායි 33/2)

යාපනය කිංග්ස් පිල - ඕවර 19.4 කදී කඩුලු 5 කට 191
(කුසල් මෙන්ඩිස් 30, රිලී රූසොව් 67, අවිෂ්ක ප්‍රනාන්දු 14, චරිත් අසලංක නොදැවී 17, අස්මතුල්ලා ඔමර්සායි නොදැවී 35, සහූර් ඛාන් 33/2)


අදහස් (0)

යාපනය ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.