Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනය ලකුණක තියුණු ජයකින් අවසන් සටනට
එල්.පී.එල්. - 2024

යාපනය ලකුණක තියුණු ජයකින් අවසන් සටනට

editorial - 2024 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම සහ යාපනය කිංග්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණක අතිශය තියුණු ජයක් වාර්තා කළ යාපනය කිංග්ස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව හෙට (21 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී යාපනය කණ්ඩායම, පළමු අවසන් පූර්ව තරගය ජයගත් ගාල්ල මාවල්ස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ‍ඇත. ඉකුත් වසරේ ශූරයන් වූ මහනුවර කණ්ඩායමට මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග මෙවර තරගාවලියේ අවසන් මහ තරගය කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ රමේෂ් මෙන්ඩිස් පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 30 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

ආරම්භක පිතිකරු ඔන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක් රැස්කළ අතර කමිඳු මෙන්ඩිස් පන්දු 23 කින් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ‍ෆේබියන් ඇලන් ලකුණු 24 කට කඩුලු 4 ක්ද, විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 30 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කිංග්ස් කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 187 ක් ලබාගත් අතර යාපනය ඉනිමේ වැඩිම නැංගුරම බවට පත්වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 54 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 105 ක් රැස්කළේය. එය මෙවර තරගාවලියේදී පිතිකරුවකු ලබාගත් 5 වැනි ශතකය මෙන්ම තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.

යාපනය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා කුසල්ට අනගි සහායක් දුන් අස්මතුල්ලා ඔමර්සායි පන්දු 13 කින් ලකුණු 26 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. රමේෂ් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා සහ මෙ‍ාහොමඩ් හස්නේන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

යාපනය කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 187

(පැතුම් නිස්සංක 18, කුසල් මෙන්ඩිස් නොදැවී 105, අස්මතුල්ලා ඔමර්සායි 26, රමේෂ් මෙන්ඩිස් 10/4, චතුරංග ද සිල්වා 22/2, මෙ‍ාහොමඩ් හස්නේන් 48/2)

මහනුවර ෆෝල්කන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 186

(ඔන්ඩ්‍රි ෆ්ලෙචර් 38, මොහොමඩ් හාරිස් 26, කමිඳු මෙන්ඩිස් 32, ඇන්ජලෝ මැතිව්ස් 18, රමේෂ් මෙන්ඩිස් නොදැවී 30, ෆේබියන් ඇලන් 24/4, විජයකාන්ත් වියස්කාන්ත් 30/3)  


අදහස් (0)

යාපනය ලකුණක තියුණු ජයකින් අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.