Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් අසරණ කරති
අන්තර් සමාජ පළමු පෙළ

යුද හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් අසරණ කරති

editorial - 2024 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් යුද හමුදාව සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර ඊයේ (27 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 32-15 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.

යුද හමුදා කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය. ඉකුත් වසරේ (2023) දෙවැනි පෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරයන් බවට පත්ව, මෙම වසරේදී (2024) පළමු පෙළ ලීග් රග්බි තරගාවලියට උසස් වීම් ලැබූ ශ්‍රී ලයන්ස් කණ්ඩායම එහිදී පිට පිට ලැබූ තෙවැනි පරාජය මෙය විය. 

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම ලකුණු 10  බැගින් ලබා සම තත්වයේ පසු විය. එහිදී යුද හමුදාව ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද, ශ්‍රී ලයන්ස් කණ්ඩායම උත්සාහක දිනුම් 2 ක් සමගින්ද ලකුණු ලබාගත්තේය.

කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ යුද හමුදා ක්‍රීඩකයෝ, එහිදී ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 22 ක් එක්කර ගැනීමට සමත් වූහ. ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

තරගයේ මුල් විනාඩි 10 තුළ කණ්ඩායම් දෙකම ලකුණු ලබාගැනීමට අසමත් වූ අතර 13 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ යුද හමුදාවේ අෂාන් බණ්ඩාර ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ඉසුරු මැදගෙදර, ඉන් නොනැවතී 20 වැනි විනා‍ඩියේදී දඬුවම් පහරක්ද සාර්ථකර කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10 ක් දක්වා ඔසවා තැබීය.

පැය භාගයකට වැඩි කාලයක් පළමු අර්ධයේ වැඩි වාසි තමන් සන්තකයේ රඳවාගැනීමට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුවද, ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් 34 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ ඒඩ්න් ප්‍රනාන්දු සහ 40 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ කවීෂ ඉඳුරංග 10-10 ක් ලෙස කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාව සම කළේය‍ෙ

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 2 ක් ගතවන විට (42 වැනි විනාඩියේදී) උත්සාහක දිනුමක් ලබාගැනීමට ධනුෂ්ක තල්වත්ත සමත් වූ අතර ඉන් විනාඩි 15 කට පසුව (57 වැනි විනාඩියේදී) තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සුදාරක දික්කුඹුර සමත් විය. එම උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්ථනයන් මෙන්ම 63 වැනි විනාඩියේදී දඬුවම් පහරක්ද සාර්ථක කරගත් ඉසුරු මැදගෙදර යුද හමු‍දාවේ ලකුණු සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ දැමුවේය.

ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් දෙනුවන් සිල්වා 78‍ වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත්තද, යුද හමුදාවේ ජයග්‍රාහී මාවත අවහිර කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. අවසන් විනාඩියේදී යුද හමුදාව වෙනුවෙන් සිවුවැනි උත්සාහක දිනුම වාර්තා කළ මනෝජ් කුමාර සිය කණ්ඩායමට ප්‍රසාද ලකුණද සමග පහසු ජයක් අත්කර දුන්නේය.

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

යුද හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් අසරණ කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.