Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි යොවුන් එක්දින තරගයෙන් ලකුණු 64 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අද (7 වැනිදා) සමත් විය. එහෙත් පළමු තරග 2 ජයගෙන තිබීම නිසා දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේ ජය 2-1 ක් ලෙස ඕස්ට්‍රේලියාව සතු විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු යොවුන් පිල ඕවර 46.3 ක් අවසානයේ ලකුණු 192 කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුධීර තිලකරත්න ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර ඕස්ටේ්‍රලියානු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සොනාල් දිනූෂ ලකුණු 22 කට කඩුලු 3 ක්ද, රොහාන් සංජය ලකුණු 51 කට කඩුලු 2 ක්ද දවාගත්හ.
ඕස්ටේ්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම එකම අර්ධ ශතක ලාභියාද වූ ආරම්භක පිතිකරු බැක්ස්ටර් ජේ’හෝල්ට් පන්දු 51 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 60 ක් ලබා සිටියදී සුධීර තිලකරත්නගේ පන්දුවක් හමුවේ දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක කමිල් මිෂාර අතට උඩ පන්දුවක් දෙමිනි.
ලැච්ලෑන් හියන් (22) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෝල්ට් සමත් විය.
මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑ අතර කමිල් මිෂාර සමග එක්ව ප්‍රබලම පිතිකරුවන් දෙදෙනකු ලෙස සැලකෙන නායක විල් සදර්ලන්ඞ් (1) සහ ජොස් කේන් (10) දවාගත් රොහාන් සංජය ලකුණු පුවරුව කඩුලු 4 ට 117 ක් ලෙස වෙනස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ 7 වැනි පන්දු යවන්නා ලෙස කැඳවූ සොනාල් දිනූෂ, සිය පළමු පන්දුවේදීම කෝරි හන්ටර්ගේ කඩුල්ල බිඳ දැමීමට සමත් විය. ඉන් නොනැවතුණ දිනූෂ, දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් කීගන් ඕට්ස්ගේ ඉනිම ලකුණු 6 කටද, මැතිව් විලන්ස්ගේ ඉනිම ලකුණකටද සීමා කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල ජයග්‍රාහී මාවතට යොමු කළේය.
අටවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ටැන්වීර් සැන්හා පන්දු 69 කදී හතරේ පහර ලකුණු 39 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරමක් පීඩනයට පත්කළේය. සැක් එන්ස් (17) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 39 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ සැන්හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීම සඳහා සටනක නිරත විය. කෙසේ වුවත් ලකුණු 24 ක් ඇතුළත ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ සුධීර තිලකරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 256 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය පන්දු 80 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 71 ක් රැස්කළේය. සොනාල් දිනූෂ (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 124 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමීමටද ධනංජය සමත් විය. පන්දු 68 කදී වාර්තා වූ දිනූෂගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.
ලකුණු 24 ක් ලබා සිටියදී කීගන් ඕට්ස්ගේ පන්දුවක් හමුවේ දුන් උඩ පන්දුවක් ඉයන් කාලිස්ලි අතින් ගිළිහී යෑම නිසා දිනූෂට අර්ධ ශතකය කරා යෑමට අවස්ථාව උදා විය. කෙසේ වුවත් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ලැච්ලෑන් හියන්ගේ පන්දුවක් හමුවේ නායක විලියම් සදර්ලන්ඞ් අතට උඩ පන්දුවක් දෙමින් දිනූෂ දැවී යෑමත් සමග සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය.
ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ නැංවීමට ගත් උත්සාහයකදී නිපුන් ධනංජය දැවී ගියේ තන්වීර් සන්ගාගේ පන්දුවක් හමුවේ ජොස් කේන් අතට උඩ පන්දුවක් දෙමිනි. ඔහුගේ දැවීයාමට පෙර ප්‍රවීන් නිමේෂ් දැවී ගියේ සන්හාගේ පන්දුවක් හමුවේ හෝල්ට්ගේ දක්ෂ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.
දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් චමිඳු විජේසිංහ, මෙම තරගයේදීද පන්දු 28 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක් රැස්කළ අතර ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි රොහාන් සංජය පන්දු 15 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කිරීමට සමත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 45 ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ලයෑම් මාෂල් සහ සැක් එවන්ස් සමත් වූහ. පන්දු 19 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 20 ක් ලබා සිටි කමිල් මිෂාර ශ්‍රී ලංකා ඉමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේ ලයෑම් මාෂල්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමිනි.
දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් මොහොමඞ් සමාස්ට මෙම තරගයේදී වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට නොහැකි වු අතර සැක් එවන්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට සමාස් ලබා සිටියේ ලකුණක් පමණි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන නවෝද් පරණවිතාන මෙම තරගයට සහභාගි නොවූ අතර ඔහු වෙනුවට කණ්ඩායමට එක්ව සිටි තවීෂ කහතුඩුවාරච්චිට පන්දු 37 කදී හතරේ පහර 3 ක් සමග රැස්කරගත හැකි වූයේ ලකුණු 17 ක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.