Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පුහුණුවීම් කිරීමේදී ජාතික රග්බි තේරීම් කමිටුවේ නිලධාරින් පැත්ත පළාතක නොපැමිණි බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉහළ දස්කම් පිළිබඳ අධ්‍යක්ෂ ඉම්ති මරික්කාර් මහතා කියයි.
“කණ්ඩායම තේරුවාට ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයක් කිසිම පුහුණු සැසියක් බලන්න ආවේ නෑ” යයි මරික්කාර් මහතා කීවේය. මේ අතර ජාතික තේරීම් කමිටුවේ සභාපති මයිකල් ජයසේකර මහතා කියා සිටියේ ඔවුන්ට පුහුණු සැසි කිහිපයක් මඟ හැරුණු බවය.
“වැඩි කාලයක් මම හිටියේ ක්‍රීඩාංගණයේ. ඒත් සමහර පුහුණු සැසි මඟ හැරුණා. මම පූර්ණකාලීනව වැඩ කරන නිසා උදේ 10.00 ටත්, හවස 1.00 ටත් පැවැත්වෙන පුහුණු සැසිවලට එන්න බැරිවුණා”
“මං විශ්වාස කරන්නෙ නෑ පුහුණු සැසිවලට තේරීම් කමිටුවේ නිලධාරීන් එක්වීමෙන් තේරීම්වල විශාල වෙනසක් සිදුවෙනවා කියලා. මොකද තරගවලදී තමයි ක්‍රීඩකයන් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. අනික ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාවත් අපි කණ්ඩායම තෝරන්න කළින්ම කෙරෙනවා.”
“අවාසනාවන්ත කාරණාව වෙන්නේ තරග සංචාරවලට තේරීම් කමිටුවේ නිලධාරින්ට යන්න අවසර නොලැබීමයි. තේරීම් කමිටුවේ නිලධාරියෙක් හැටියට පුහුණු සැසි නෙවෙයි ඔවුන්ගේ තරගයි නැරැඹිය යුත්තේ” යයි ජයසේකර මහතා ඬේලි මිර්ර් පුවත්පතට පවසා තිබිණ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා කණ්ඩායම තෝරාගැනීමේදී පුහුණු කාර්ය මණ්ඩලය සහ තේරිම් කමිටුව අතර ආරවුලක් ඇතිවූ බව වාර්තා වෙයි.
මේ අතර ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා කියා සිටියේ මේ ගැටලු නිරාකරණය කිරීමට තමන් උත්සාහ කරමින් සිටින බවය.
“මං හිතන්නේ තේරීම් කමිටුව සහ පුහුණු කාර්ය මණ්ඩලය අතර හොඳ සන්නිවේදනයක් තිබිය යුතුයි. අපිට මේ මොහොතේ පෙනෙන ප්‍රශ්නය තමයි ඇතැම් තේරීම්වලට ඔවුන් එකඟ නෑ කියන එක”
“හොඳ කණ්ඩායමක් තෝරන්න නම් තේරීම් කමිටුවේ නිලධාරින් සියලුම පුහුණු සැසිවලට සහභාගි විය යුතුයි.
ඒ වගේම පුහුණු කාර්ය මණ්ඩලයත් දැනගන්න ඕනා තේරීම්වලදී මොන වගේ බලපෑමක්ද ඔවුන් කළ යුතුවන්නේ කියලා. මේ ගැන සාකච්ඡා කරන්න අපි රැස්විම් කිහිපයක්ම තිබ්බා. ඉක්මනින් සියලු ගැටලු නිරාකරණය කරන්න හැකිවේවි කියලයි අපි බලාපොරොත්තු වෙන්නේ” යයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපතිවරයා ඬේලි මිරර් පුවත්පතට කීවේය.
මහනුවර ක්‍රීඩා සමාජයේ රිචඞ් ධර්මපාල සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර කණ්ඩායමෙන් ඉවත් කළ යුතු යයි ඉම්ති මරික්කාර් මහතා තේරීම් කමිටුවට සහ ක්‍රීඩා අමාත්‍යාංශයට යෝජනා කර තිබිණි. එම ක්‍රීඩකයන් සමග තමාගේ කිසිදු පෞද්ගලික ගැටළුවක් නොමැති බවත් මහනුවර ක්‍රීඩා සමාජයේ සහ සී.ආර්.ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රිඩකයකු වූ මරික්කාර් මහතා කියයි.
“මට මහනුවර ක්‍රීඩා සමාජය සමග කිසිම ගැටළුවක් නෑ. ඇත්තටම ඒ ක්‍රීඩා සමාජය සමග සම්බන්ධ බොහෝ පුද්ගලයන් මා ඇසුරු කරනවා....මගේ එකම අවධානය යොමු වුණේ බෝර්නියෝ සත් සාමාජිකත තරගාවලියට ගිය කණ්ඩායම එහිදී අතිවිශිෂ්ට අයුරින් ක්‍රීඩා කළා. කණ්ඩායමක් හොඳින් කරද්දී වැඩිපුර වෙනස්කම් කරන්න ඕන වෙන්නේ නෑ කියන එකයි මා නම් කියන්නේ” යයිද මරික්කාර් මහතා පැවැසීය.
ඡායාරූපය - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.