Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි වළපල්ලට යැව්වෙ ක්‍රීඩා අමාත්‍යංශයයි

රග්බි වළපල්ලට යැව්වෙ ක්‍රීඩා අමාත්‍යංශයයි

editorial - 2023 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දේශපාලනය ඈදාගනිමින් මෙරට රග්බි ක්‍රීඩාව වළපල්ලට ඇද දැමුවේ ක්‍රීඩා අමාත්‍යංශය බවත්, මේ වන විට ඔවුන් එහි වරද රග්බි සංගමයේ කර මතට පැටවීමට උත්සාහ ගනිමින් සිටින බවත් හිටපු රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

රග්බි සංගමය විසුරුවා හරිමින් මෙරට රග්බි ක්‍රීඩාවේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත්කිරීමට කටයුතු කළ ක්‍රීඩා අමාත්‍යවරයා, එම අවස්ථාවේදී රග්බි සංගමයට එල්ල කළ චෝදනාවලට පිළිතුරු සපයමින් ඉල්ලියාස් මහතා මේ බව කියා සිටියේය.

“මෙතන තියෙන්නෙ තනිකරම දේශපාලන පළිගැනීමක්. හිටපු ක්‍රීඩා ඇමතිවරයකුට ඕන විධියට තමයි මේ හැමදේම සිද්ධවෙන්නෙ. එයා තමයි තිරය පිටුපස ඉදන් මගෙන් පළිගන්න දැන් ඉන්න ක්‍රීඩා ඇමතිවරයව පාවිච්චි කරන්නෙ. ඔවුන්ට ඕන ක්‍රීඩාව දියුණු කරන්න නෙමෙයි එයාල කියන කියන පදේට නටපු නැති නිසා මාව මෙතනින් අයින් කරන්න.” යැයි හිටපු සභාපතිවරයා පැවසීය.

“එයාලට හිතුනාම ගැසට් ගහනවා. පස්සෙ එයාලම ඒවා අවලංගු කරනවා. මේකෙන් වෙන්නෙ ජාත්‍යන්තරයේ අපිව විහිලුවට ලක්වෙන එක. අපිට වෙලා තියෙන අසාධාරණකම් සම්බන්ධයෙන් අපි මේ වෙනකොට එයාලට එරෙහිව අධිකරණයට ගිහින් තියෙන්න. දැන් අධිකරණයෙන් තීන්දුවෙන් දෙනකන් තමයි අපි බලන් ඉන්නේ.”

“අධිකරණයෙ නඩුවක් තියෙනකොට ක්‍රීඩා අමාත්‍යංශයට පුළුවන්ද අපිට දැනුම් දීමක්වත් නොකර අපේ කාර්යාලයට සීල් තියන්න. ඒකේ අපේ වැදගත් ලිපි ලේඛණ තියෙනවා. එයාලට තිබුණා අපි විගණනයක් කරලා ගිණුම් වාර්තා බාරදුන්නට පස්සෙ අලුත් කට්ටියකට බලය පවරන්න ඕන. නැත්නම් පස්සෙ කියයි අපි අරක දීලා නෑ, මේක දීලා නෑ කියලා.” යැයිද ඉල්ලියාස් මහතා කියා සිටියේය.

කිසිදු දැනුවත් කිරීමකින් තොරව ඉකුත්දා ටොරින්ටන් පෙදෙසේ පිහිටි රග්බි සංගම් කාර්යාලයට මුද්‍රා තැබීමට ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමටද තමා කටයුතු කළ බව ඉල්ලියාස් මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කෙළ්ය.

ජාත්‍යන්තර වශයෙන් රග්බි ක්‍රීඩාවේ යම් පසුබෑමක් පෙනෙන්නට ඇත්නම් එහි වගකීම රග්බි සංගමය වෙත පවරනවා වෙනුවට ක්‍රීඩා අමාත්‍යංශය කළ යුත්තේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් කැඳවා පසුබෑමට හේතු සෙවීම සඳහා කමිටුවක් පත්කිරීම බවද ඉල්ලියාස් මහතා පැවසීය.

“දැන් ක්‍රිකට් ක්‍රීඩාව පහළටම වැටිලා තියෙනවා. දිගින් දිගටම තරග පරදිනවා. ඒත් ඒ ගැන හොයලා බලන්න කමිටු පත් කළා මිසක් ක්‍රිකට් ආයතනය විසිරුවා හැරලා අතුරු කමිටු පත් කළේ නෑනෙ. එහෙමනම් ඇයි රග්බි ක්‍රීඩාවට විතරක් වෙන හැන්දකින් බෙදන්නෙ. රග්බි වලටත් ඒ දේම කරන්න තිබුණානෙ.”

“ගිය අවුරුද්දෙ (2022) අපි ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ කොරියාවෙ තිබුණ දෙවැනි අදියරේදි 4 වැනි ස්ථානයට පත්වුණා. ඒත් ඩුබායිවල තිබුණ තුන්වැනි අදියරේදි අපි 7 වැනි ස්ථානයට ඇද වැටුණා. ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනත් ක්‍රීඩා අමාත්‍යංශයම තමයි.” යැයිද ඉල්ලියාස් මහතා අවධාරණය කළේය.

“ඩුබායි යන්න හිටපු රග්බි සංචිතයේ ක්‍රීඩකයන් 5 දෙනෙකුට විනය ගැටළු තිබුණා. ඒ නිසා අපි එයාලව ඉවත් කරලා ඔවුන් වෙනුවට වෙන ක්‍රීඩකයන් 5 දෙනෙක් සංචිතයට ඇතුල් කරන්නයි හැදුවෙ. ඒත් මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකුගෙ කීමට ඒ දවස්වල හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා අපිට බල කළා ඒ ක්‍රීඩකයෝ 5 දෙනාවම අරන් යන්න කියලා.”

“ඒ විතරක් නෙමෙයි ක්‍රීඩකයො දෙන්නෙකුට ආසියානු තරගාවලියෙන් පසුව ඩුබායිවල පැවැත්වුණ පෞද්ගලික රග්බි තරගාවලියකට සහභාගි වෙන්නත් ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලිඛිතව අවසර ලබා දුන්නා. ඔහු එහෙම කළේ අපෙන් කිසිම විමසීමක්වත් නොකරයි. ඉතින් කොහොමද ක්‍රීඩාව දේශපාලනීකරණය වෙලා නෑ කියන්නෙ.” යැයිද හිටපු සභාපතිවරයා අවසාන වශයෙන් කීය.

 

 


අදහස් (0)

රග්බි වළපල්ලට යැව්වෙ ක්‍රීඩා අමාත්‍යංශයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.