Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රීසා හැව්ලොක්ස් පිල නූලෙන් බේරාගනී

රීසා හැව්ලොක්ස් පිල නූලෙන් බේරාගනී

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තිම මිනිත්තු 5 වනවිට සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ නොසිතූ ඉරණමකට ඇද වැටුණු ප්‍රබල හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 25-26 ක් ලෙස එක් ලකුණකින් පසුබැස පරාජයට අත වනමින් සිටියේය.

එහෙත් ප්‍රතිවාදීන්ගේ නීතිවිරෝධී ක්‍රීඩා රටාව නිසා ලද දඬුවම් පහර ද්විත්වයක් ඉලක්කයට යැවූ රීසා මුබාරක් අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පිට පිට දෙවැනි පරාජයෙන් සිය කණ්ඩායම නූලෙන් බේරාගත්තේය.

දඬුවම් පහර දෙකම සාර්ථක වීමත් සමගම තරගය නිමා වූයේ ලකුණු 25-31 ක් ලෙසිනි.

රීසා මුබාරක් තරගයේ ලකුණු ලබාගැනීම ආරම්භ කරමින් සිය කණ්ඩායම ලකුණු 6-0 කින් ඉදිරියට ගෙන ගියේ දඬුවම් පහර දෙකක් සාර්ථක කරගනිමිනි. 24 වැනි මිනිත්තුවේදී තරග තීරක ප්‍රියන්ත ගුණරත්නගේ උදහසට ලක්වී කහ කාඞ් පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමට සී.එච්.පිලේ ප්‍රබලතම තුරුම්පුව වන ලී කීගල්ට සිදුවිය. ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් දුලාජ් පෙරේරා තැබූ උත්සාහක දිනුමත් සමග ලකුණු 11-0 කින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිලට හැකිවිය. එම උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට රීසා මුබාරක් අසමත්වූවත් ඊට මිනිත්තු දෙකකට පසුව කෙවින් ඩික්සන් තැබූ අගනා උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් ලකුණු 18-0 කින් හැව්ලොක්ස් පිල ඔසවා තැබීමට රීසා මුබාරක්ට හැකිවිය.

කෙසේවෙතත්  පළමු භාගය නිමාවීමට මොහොතකට පෙර සසංක ආරියරත්න තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට සැමුවෙල් මධුවන්ත සමත්වීම නිසා පළමු භාගය නිමාවීමට පෙර ලකුණු 7 ක් ලබාගැනීමට සී.එච්.පිල සමත්විය. පළමු අර්ධය නිමා වූයේ 18-7 ක් ලෙස හැව්ලොක්ස් පිල ඉදිරියෙන් සිටිමිනි.

දෙවැනි භාගයේ ආරම්භයේදීම දුලාජ් පෙරේරා සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූ අතර රීසා මුබාරක් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් හැව්ලොක්ස් පිල ලකුණු 25-7 කින් ඉදිරියට ගියේ සී.එච්.පිල සෙල්ලමකට ගනිමිනි. එහෙත් ඉන් පසුව හිටි හැටියේම නින්දෙන් අවදිවූවාක් මෙන් ක්‍රීඩාවට අවතීර්ණ වූ සි.එච්. පිල ඉතිරි මිනිත්තු 20 කට ආසන්න කාලයකදී උත්සාහක දිනුම් දෙකකට හිමිකම් කියමින් තරගයේ පාලනය සියතට ගත්තේය.

එය ආරම්භ වූයේ 50 වැනි මිනිත්තුවේදී යෝෂිත රාජපක්ෂ තැබූ අගනා උත්සාහක දිනුමත් සමගිනි. අනතුරුව 64 වැනි මිනිත්තුවේදී සසංක ආරියරත්න සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්විය. මේ උත්සාහක දිනුම් දෙකම ගෝල බවට ප්‍රවර්ථනය කළ සැමුවෙල් මධුවන්ත සී.එච්.පිල ලකුණු 21 කින් ඉදිරියට ගෙන ගියේය.
එවිටත් ලකුණු තත්ත්වය 21-25 ක් වූයෙන් හැව්ලොක්ස් පිල පෙරමුණේ විය.

සී.එච්.පිල තරගයේ පෙරමුණ ගත්තේ ඊට මිනිත්තු තුනකට පසුව සජිත් සාරංග තැබූ උත්සාහක දිනුමත් සමගිනි. ඒ වන විට තරගයේ විනාඩි 67 ක් ගතවී තිබිණ. ලකුණු 26-25 ක් ලෙසින් පසුබාගිය හැව්ලොක්ස් පිල ගොඩගනු ලැබුවේතමන්ට ලැබුණු අවසන් දඬුවම් පහර දෙකම නිවැරදි ඉලක්කයට යොමු කළ රීසා මුබාරක් විසිනි.

 

ඡායාරූප - කුෂාන් පතිරාජ


අදහස් (0)

රීසා හැව්ලොක්ස් පිල නූලෙන් බේරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.