Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රූනි බලාපොරොත්තු එකතුකරයි

රූනි බලාපොරොත්තු එකතුකරයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


තුන්වැනි වරටත් ලෝක කුසලාන තරගාවලියක් සඳහා පිටත්ව යාමට සූදානම් වන එංගලන්ත පාපන්දු පිලේ පළපුරුදු  කී‍්‍රඩකයකු වන වේන් රූනි, ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තුරුම තමන්ට නියමිත ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාමට හැකි වෙතැයි බලාපොරොත්තුවෙන් සිටී.

තවමත් 28 හැවිරිදි වේන් රූනි ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගි වී ඇති නමුත් එම තරගාවලි දෙකේදීම අපේක්‍ෂිත තරම් ඉහළ දස්කම් දැක්වීමට නොහැකි විය. 2006 වසරේදී ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටියදී එංගලන්ත පිලට කැඳවූ 20 හැවිරිදි වේන් රූනි, එයින් වසර හතරකට පසුව 2010 දකුණු අපි‍්‍රකාවේ පැවැති තරගාවලියේදීත් වැඩි දස්කම් දැක්වීමට අපොහොසත් වූයේ එංගලන්ත පිල අසාර්ථක වීම හේතුවෙනි.

එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඞ් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන රූනිට මැන්චෙස්ටර් යුනයිටඞ් පිලේ අවසන් තරග තුනටම සහභාගි විය නොහැකි වූයේ පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක්ව සිටි හෙයිනි. එහෙත් ජූනි මස 12 වැනිදා බ‍්‍රසීලයේදී ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට තමන් සුවය ලබනු ඇතැයි රූනි බලාපොරොත්තුවෙන් සිටී.

”කලින් අවස්ථා දෙකේදීම මා තරගයකට යන්න ඉස්සරවෙලා වඩාත් අවධානයෙන් සිටියේ මගේ ශාරීරික යෝග්‍යතාව ගැනයි. ඒත් මේ වතාවේ එහෙම නෑ”
”මගේ සෞඛ්‍යය ගැන මා හොඳින් බලාගත්තා. අවංකවම කියනවා නම් මා ඉතාමත් හොඳ සනීපයෙන් ඉන්නවා. මේ තරගාවලියට ඉතාමත් සුදුසු තත්ත්වයෙන් මා දැන් ඉන්නවා”

”මට  ඕනෑ කරන්නේ 100% ක්ම ශාරීරික සුවතාව පවත්වාගෙන යන්නයි. තරගාවලියට යන්න ඉස්සරවෙලා කරන පුහුණුවීම් වලදී තුවාලයක් නොවුණොත් මා තරගාවලියට සූදානම්” යයි එංගලන්තයේ ඬේලි මේල් පුවත් පතට වේන් රූනි පවසා තිබිණ.

වසර 2010 ලෝක කුසලාන තරගාවලියේදී කී‍්‍රඩා ලෝලීන් එංගලන්ත පිල කෙරේ මහත් බලාපොරොත්තු තබා තිබුණ නමුත් මේ වතාවේදී එංගලන්ත පිල ඇතුළත් කාණ්ඩය නිසා ඔවුන්ගේ බලාපොරාත්තු හීන වී තිබේ.

පාපන්දු ලෝකයේ ප‍්‍රබලතම කණ්ඩායම් සේ සැලකෙන ඉතාලිය සහ උරුගුවේ කණ්ඩායම් දෙකත් කොස්ටාරිකා වත් ඇතුළත් ‘ඞී’ කාණ්ඩයට මෙවර තරගාවලියේදී එංගලන්තය ඇතුළත් ව සිටී. එක් කාණ්ඩයකින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා තෝරා ගනු ලබන්නේ කණ්ඩායම් දෙකක් පමණි.

එංගලන්ත පිලේ සිටින ඉතාමත් පළපුරුදු කී‍්‍රඩකයකු වන වේන් රූනි අන්තර්ජාතික තරග 89 කට සහභාගි වෙමින් ගෝල 38 ක් ලබා සිටී. තමන්ගේ දස්කම් නිසිපරිදි ඉස්මතු වේ නම් එංගලන්ත පිලේ සිටින තරුණ කී‍්‍රඩකයන්ද සමගින් බ‍්‍රසීලයේදී සුවිශේෂී දෙයක් කළ හැකියයි වේන් රූනි බලාපොරොත්තු රඳවාගෙන සිටී.


අදහස් (0)

රූනි බලාපොරොත්තු එකතුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.