Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෝහිත් - කෝලි - ලෝකේෂ් විවේක ගන්වති
ඉන්දීය සංචාරය

රෝහිත් - කෝලි - ලෝකේෂ් විවේක ගන්වති

editorial - 2022 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේදී ප්‍රවීන ක්‍රීඩකයන් වන රෝහිත් ශර්මා, විරාට් කෝලි සහ ලෝකේෂ් රාහුල් විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කෙසේ වුවත් විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඔවුන් තිදෙනාම යළිත් කණ්ඩායමට එක්වීමට නියමිතය.

හර්දීක් පාණ්ඩ්‍යාගේ නායකත්වයත්, සූර්යකුමාර් යාදව්ගේ උප නායකත්වයත් යටතේ තරගාවලියට එක්වන ඉන්දීය විස්සයි-20 කණ්ඩායමට නවකයෝ කිහිප දෙනෙක්ම එක්ව සිටිති. එහෙත් ශිකර් ධවාන්, රිෂාබ් පාන්ට් සහ බුවනේෂ්වර් කුමාර් යන අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ට විස්සයි-20 මෙන්ම එක්දින සංචිතයේද ස්ථාන අහිමිවී තිබේ.

පසුගිය කාල වකවානුවේදී දස්කම් අතරට පැමිණීමට අපොහොසත්වීම හේතුවෙන් ධවාන්ට කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇති අතර ඔහුගේ ස්ථානය සඳහා ශුබ්මන් ගිල් කැඳවීමට තේරීම් කමිටුව කටයුතු කර ඇත. ගෙවී ගිය වසරේදී ධවාන්ගේ ලකුණු ලබාගැනීමේ සාමන්‍යය 34.40 ක් වූ අතර ගිල්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 70 කට වැඩි විය.

කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේදී සීමිත ඕවර තරග සඳහාද එක්කර නොගැගුණ අතර මෙම තරගාවලියදීද කඩුලු රකින්නා ලෙස ඉෂාන් කිෂන් කණ්ඩායමට එක්ව සිටියි. අතිරේක කඩුලු රකින්නන් ලෙස සංජු සැම්සන් විස්සයි-20 සංචිතයටද, ලෝකේෂ් රාහුල් එක්දින සංචිතයටද ඇතුළත්ව සිටිති.

බුවනේෂ්වර් කුමාර්ගේ සහ මොහොමඩ් සිරාජ්ගේ ස්ථාන සඳහා තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ශිවම් මාවි සහ මුකේෂ් කුමාර් විස්සයි-20 සංචිතයට කැඳවා සිටිති. දඟ පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිපදෙනකුම විස්සයි-20 සංචිතයට ඇතුළත්ව සිටින බැවින් කුල්දීප් යාදව්ද එක්දින සංචිතයට පමණක් ඇතුළත් කර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගාවලිය විස්සයි-20 තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විතය. විස්සයි-20 තරගාවලිය ජනවාරි මස 3 වැනිදා සිටද, එක්දින තරගාවලිය 10 වැනිදා සිටද ආරම්භ වීමට නියමිතය. තරගාවලිය මුම්බායි, පූනේ, රාජ්කොට්, ගුවහටි, කොල්කටා සහ තිරුවනන්තපුරම් යන නගරවලදී පැවැත්වේ.


විස්සයි-20 සංචිතය
හර්දීක් පාණ්ඩ්‍යා (නායක), සූර්යකුමාර් යාදව් (උප නායක), ඉෂාන් කිෂන්, රුතුරාජ් ගයික්වාද්, ශුබ්මන් ගිල්, දීපක් හූඩා, රාහුල් ත්‍රිපාටි, සංජු සැම්සන්, වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, අක්සර් පටේල්, අර්ෂ්දීප් සිං, හර්ෂාල් පටේල්, උම්රාන් මලික්, ශිවම් මාවි සහ මුකේෂ් කුමාර්

එක්දින සංචිතය
රෝහිත් ශර්මා (නායක), හර්දීක් පාණ්ඩ්‍යා (උප නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, ලෝකේෂ් රාහුල්, ඉෂාන් කිෂන්, වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, අක්සර් පටේල්, මොහොමඩ් සාමි, මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික් සහ අර්ෂ්දීප් සිං

-036

 


අදහස් (0)

රෝහිත් - කෝලි - ලෝකේෂ් විවේක ගන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.