Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලියාපදිංචි ක්‍රීඩා 8 ක නම් අලුත් වෙයි

ලියාපදිංචි ක්‍රීඩා 8 ක නම් අලුත් වෙයි

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා පනතේ 2016 අංක 01 දරන ක්‍රීඩා සංගම් නියෝග නැවැත සංශෝධනයේදී ක්‍රීඩා ඉසව් හැඳින්වීමේ යෙදුම් වෙනස් කර තිබේ. එහි 9-II උප ලේඛනයේදී ක්‍රීඩා ඉසව් අටක් සඳහා එහිදී අළුතින් හැඳින්වීමේ නාම ලබාදී තිබේ.


ඒ අනුව කායවර්ධනය වෙනුවට කායවර්ධන යන වචනයත්, ජීවිතාරක්ෂා වෙනුවට ජීවිතාරක්ෂක යන වචනයත්, බොක්සිං වෙනුවට බොක්ෂිං යන වචනයත්, තුරඟ තරග වෙනුවට අශ්වාරෝහක යන වචනයත්, කඩු හරඹ වෙනුවට ෆෙන්සින් යන වචනයත්, සෙපැක්ටැට්‍රෝ වෙනුවට සෙපැක්ටැක්රෝ යන වචනයත්, මොඩර්න් පෙන්ටැක්ලොන් වෙනුවට මොර්ඩන් පෙන්ටැන්ලෝන් යන වචනයත්, කෝ කෝ වෙනුවට කෝ - කෝ  යන වචනයත් ආදේශ කරන බව ක්‍රීඩා පනතේ නව නියෝග යටතේ දැක්වේ.


2016.10.27 වැනි දින අංක 190/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ 2016 අංක 01 දරන ක්‍රීඩා සංගම් නියෝග තවදුරටත් සංශෝධනය කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය අළුතින් හඳුන්වා දුන් නව නියෝග යටතේ  ඉහත ක්‍රීඩා සඳහා භාවිතා කරන නව වචන ඉහතින් දක්වා තිබේ. නව නියෝග යටතේ ක්‍රීඩා පනතට අළුතින් වගන්ති කීපයක් එකතු කර තිබෙන අතර පැවැති වගන්ති ගණනාවක් ප්‍රතිශෝධනය කර තිබේ.


නව නියෝග යටතේ ජාතික ක්‍රීඩා සංගමයක භාණ්ඩාගාරිකවරයා හා සහකාර භාණ්ඩාගාරිකවරයා පත් කිරීමේ අවම සුදුසුකම් ලිහිල් කර තිබේ. එහිදී මූල්‍ය ආයතනයක වසර එකක පළපුරුද්දක් ඇති ගිණුම් ලිපිකරුවකු වීමද එම ධුර දැරීම සඳහා සුදුස්සෙකු වනු ඇත.


ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධිත නොවන ජාතික ක්‍රීඩා සංගම්වල මහ සභාව හෝ විශේෂ මහ සභාව විසින් වසර හතරක උපරිම ධුර කාලය හා අනුගාමි කාලසීමාවන් තීරණය කළ හැකිය යනුවෙන් නව නියෝග යටතේ ක්‍රීඩා පනතට අළුත් වගන්තියක් එකතු කර තිබේ.
නව නියෝග යටතේ ප්‍රතිසංශෝධිත වගන්ති කීපයක් කෙටියෙන් මෙසේය.


■    නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර එක් වසරක කාලසීමාව තුළ ඔහු එම ජාතික ක්‍රීඩා සංගමයේ විනිශ්චයකරුවකු හෝ තීරකවරයකු හෝ ජූරි සභිකයකු හෝ යම් කණ්ඩායමක තනි පුද්ගල තරගකරුවකු හෝ පුහුණුකරුවකු වශයෙන් කටයුතු කර තිබේ නම් ඔහු ඊට සුදුසුකම් නොලබයි.

■    නව නියෝග යටතේ පත්වන නිලධාරීන්ගේ වයස් සීමාව තීරණය කිරීමේ හැකියාව ජාතික ක්‍රීඩා සංගම්හි මහ සභා රැස්වීමේදී හෝ විපක්ෂ මහ සභා රැස්වීමේදී තීරණය කිරීමේ හැකියාව ඇත.

■    නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර වසරක කාල සීමාව තුළදී එකී ක්‍රිීඩාවට අදාළ ක්‍රීඩා  භාණ්ඩ, ආම්පන්න හෝ වෙනත් ක්‍රීඩා ආයිත්තම් අදාළ ජාතික ක්‍රීඩා සංගමයට අලෙවි කිරීමේ හෝ සැපයීමේ යෙදී ඇත්නම් හෝ ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ පුහුණු පාසල් පැවැත්වීම හෝ ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ මූල්‍යමය සේවා සැපයීමේ යෙදී ඇත්නම් ඔහු හෝ ඇය නාම යෝජනා  ඉදිරිපත් කිරීමේ නුසුදුස්සෙකු වනු ඇත.

■    නිලවරණයට අවම මාස තුනකට පෙර විශේෂ මහ සභා රැස්වීමකදී නිලවරණ කමිටුව පත්කර ගැනීම.

■    සෑම වර්ෂයකම වාර්ෂික මහ සභා රැස්වීමෙන් පසුව මාසයක් ඇතුළත අදාළ ලේඛනද සහිතව විගණකාධිපතිවරයාට පිටපතක්ද සහිතව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කිරීම.

■    නාමයෝජනා හා ජීව දත්ත වාර්ෂික මහ සභා රැස්වීමට අවම දින 25කට පෙරවත් අදාළ ජාතික ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා වෙත ක්‍රීඩා සමාජ යෝජනා ස්ථිරත්වයෙන් යොමු කළ යුතුය.

■    මලල ක්‍රීඩා කමිටුව වෙනුවට ක්‍රීඩක කමිටුව යන යෙදුම ආදේශ කිරීම යම් ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයක් නොපැවැත්වෙන අවස්ථාවක හෝ එහි නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්වන අස්ථාවක එහි ක්‍රීඩා සංගමය අකර්මණ්‍යවීම මත ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා විසින් මාස හයක කාලසීමාවක් සඳහා එකී ජාතික ක්‍රීඩා සංගමයේ පරිපාලන හා තාක්ෂණික කටයුතු පවත්වාගෙන යාම සඳහා නිසි බලධාරියකු පත්කළ යුතුය. එකි නිසි බලධාරියාට අදාළ කාලසීමාවේදී ඒ සම්බන්ධයෙන් වන සියලුම බලතල පැවරේ.

■    මලල ක්‍රීඩකයා යන යෙදුම වෙනුවට ක්‍රීඩකයා යන යෙදුම ආදේශ කිරීම

■    සියලුම ජාතික ක්‍රීඩා සංගම් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත ආයතන ලෙස සලකනු ලැබේ.

 


අදහස් (0)

ලියාපදිංචි ක්‍රීඩා 8 ක නම් අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.