Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලංකා ප්‍රීමියර් ලීග් වෙන්දේසියට ක්‍රීඩකයන් 360 ක්

ලංකා ප්‍රීමියර් ලීග් වෙන්දේසියට ක්‍රීඩකයන් 360 ක්

editorial - 2023 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)  

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිවුවැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය අනිද්දා (14 වැනිදා) පස්වරු 3.00 සිට කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවයලියක් සඳහා ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර ඒ සඳහා ලියාපදිංචි වී සිටින දෙස් විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 360 කි.

කොළඹ ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගාල්ල ග්ලැඩියේටර්ස්, යාපනය කිංග්ස් සහ මහනුවර ෆැල්කන්ස් යන කණ්ඩායම් 5 සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුව දේශීය ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සහ විදෙස් ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සිය කණ්ඩායම්වලට ඒකකර ගැනීමට එම කණ්ඩායම්වලට අවස්ථාව හිමිවිය.

ඒ අනුව බාබර් අසාම් සහ නසීම් ෂා කොළඹ කණ්ඩායමටත්, මැතිව් වේඩ් සහ ලුංගි න්ගිඩි දඹුල්ල කණ්ඩායමටත්, සකීබ් අල් හසන් සහ තබේ්‍රස් ශම්සි ගාල්ල කණ්ඩායමටත්, ඩේවිඩ් මිලර් සහ රහ්මනුල්ලා ගුර්බාස් යාපනය කණ්ඩායමටත්, මුජිබුර් රහමන් සහ ෆකර් සමාන් මහනුවර කණ්ඩායමටත් විදෙස් ක්‍රීඩකයෝ ලෙස එක් වූහ.

මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න කොළඹ කණ්ඩායමටත්, කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු දඹුල්ල කණ්ඩායමටත්, දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ගාල්ල කණ්ඩායමටත්, මහීෂ් තීක්ෂණ සහ තිසර පෙරේරා යාපනය කණ්ඩායමටත්, වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් මහනුවර කණ්ඩායමටත් එක්වූ දේශීය ක්‍රීඩකයෝ වූහ.

මෙම ක්‍රීඩක වෙන්දේසියේදී සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් වියදම් කළ හැකිය. එහිදී ඔවුන්ට තවත් දේශිය ක්‍රීඩකයන් 16 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 4 ක් සමග ක්‍රීඩකයන් 20 දෙනකු මිලදී ගැනීමට අවස්ථාව තිබේ. කෙසේ වුවත් එකවර තරගයකට සහභාගි විය හැක්කේ විදෙස් ක්‍රීඩකයන් සිවුදෙනකුට පමණි.

ක්‍රීඩක වෙන්දේසිය සඳහා දේශීය ක්‍රීඩකයන් 204 දෙනකු ලියාපදිංචි වී ඇති අතර ඒ සඳහා ලියාපදිංචි වි ඇති විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 156 කි. වැඩිම විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ක්‍රීඩක වෙන්දිසිය සඳහා ඉදිරිපත්වී ඇත්තේ පාකිස්තානයෙන් වන අතර ක්‍රීඩකයෝ 35 දෙනෙක් ඒ අතර වෙති. බංග්ලාදේශයෙන් ක්‍රීඩකයන් 25 සහ ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයන් 23 ක් මෙවර වෙන්දේසියට ඉදිරිපත්වී සිටිති. 

ඔවුන්ට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 17 ක්ද, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 15 ක්ද, ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයන් 12 ක්ද, නවසීලන්ත ක්‍රීඩකයන් 10 ක්ද, සිම්බාබ්වේ ක්‍රීඩකයන් 7 ක්ද, අයර්ලන්ත ක්‍රීඩකයන් 6 ක්ද, එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයන් 2 ක්ද, ඉන්දියාව, නේපාලය, නැමීබියාව සහ ස්කොට්ලන්තය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයා බැගින්ද ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත්ව සිටිති.

මින් පෙර පැවැති එල්.පී.එල්. තරගාවලි දෙක සඳහා සමිත් පටේල්, රවී බොපාරා සහ ලෝරි එවන්ස් වැනි එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රීඩා කළද, මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා එක් එංගලන්ත ක්‍රීඩකයකු හෝ ලියාපදිංචි නොවීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබේ.

ජූලි මස 31 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය තරග 24 කින් සමන්විත වන අතර එම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ලංකා ප්‍රීමියර් ලීග් වෙන්දේසියට ක්‍රීඩකයන් 360 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.