Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලාන තරගාවලියෙන් මතීෂ ඉවතට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ලෝක කුසලාන තරගාවලියෙන් මතීෂ ඉවතට

editorial - 2023 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද බෙංගලූරු සිට..)

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට උරහිසේ ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෙසු තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවි ඇත. ඔහු වෙනුවට  වෙනත් ක්‍රීඩකයකු සංචිතයට ආදේශ කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය මේ වන විට තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඉල්ලා තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරග දෙකට ක්‍රීඩා කළ මතීෂ, උරහිසේ ආබාධයකට ලක්ව ඇතැයි පවසමින් ‍සෙසු තරග දෙකේදී ඔහුව විවේක ගැන්වීමට කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගත්තේය. ක්‍රීඩා කළ තරගවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඕවර 10 ක් යවමින් ලකුණු 95 කට කඩුල්ලක් දවාගත් ඔහු, පාකිස්තානයට එරෙහිව ඕවර 9 ක් යවමින් ලකුණු 90 කට කඩුල්ලක් බිඳහෙළුවේය.

ඒ අනුව තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය සමග අතිරේක ක්‍රීඩකයන් ලෙස රැදී සිටින දසුන් ශානකට, ඇන්‍ජ‍‍ලෝ මැතිව්ස්ට හෝ දුෂ්මන්ත චමීරට සංචිතයට ඇතුළත් වීම සඳහා දොරටු විවර වනු ඇත. කෙසේ වුවත් දසුන්ගේ ආබාධ තත්වය සුවවීම සඳහා සති තුනක පමණ කාලයක් ගතවන බවට අන්තර් ජාතික ක්‍රිකට් සභා‍ව නිවේදනය කර ඇති බැවින් මෙම අවස්ථාව ඔහුට හිමිවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය.

වමතින් වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක මේ වන විට කඩුලු 11 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවන අතර කසුන් රාජිතද ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයේදී කඩුලු 4 ක් දවාගනිමින් යළිත් සුපුරුදු රිද්මයට පැමිණියේය. එබැවින් මතීෂගේ ආදේශකයා ලෙස දුෂ්මන්ත චමීර සංචිතයට ඇතුළත් වුවද, ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට තරමක් අපහසු වනු ඇත.  

මේ වන විට පත්ව ඇති තත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සමබරතාව රඳවාගැනීම සඳහා වඩාත් අවශ්‍ය වන්නේ තවත් වේග පන්දු යවන්නකුට වඩා වේග පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් ක්‍රීඩකයකි. දසුන් ශානක ආබාධයකට ලක්ව සංචිතයෙන් ඉවත් වීමත්, ඔහු වෙනුවට සංචිතයට ඇතුළත් වූ චාමික කරුණාරත්න සහභාගි වූ තරග දෙකේදීම දස්කම් දැක්වීමට අපොහොසත්වීමත් ඊට හේතු ලෙස සඳහන් කළ හැකිය.

එම සියලු කරුණු කාරණා සළකා බැලීමේදී මතීෂගේ ආදේශකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස්ට සංචිතයට ඇතුළත් වීමට වැඩි ඉඩක් ඇතැයි අනුමාන කළ හැකිය. දක්ෂ මැද පෙළ පිතිකරුවකු මෙන්ම තරග නිමා කරන්නකුද වන මැතිව්ස්, එල්.පී.එල්. තරගාවලියේදී යළිත් පන්දු යැවීමෙන්ද දස්කම් දැක්වීමට සමත් වූ අතර මැතිව්ස් සතුව පවතින අත්දැකීම් බහුල බවද ඔහුට එම ස්ථානය හිමිවීමට තවත් සාධකයක් වනු ඇත.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 221 කට ක්‍රීඩා කර ඇති මැතිව්ස්, ශතක 3 ක් සහ අර්ධ ශතක 40 ක් සමග ලකුණු 5865 ක් රැස්කරමින් කඩුලු 120 ක් බිඳහෙළා ඇත. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 41.01 ක් ලෙසත්, කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 33.35 ක් ලෙසත් සටහන් වේ. ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 වැනිදා) පස්‍ව‍රුවේ බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී සහභාගි වූ පුහුණු සැසියේදීද මැතිව්ස් පන්දු යැවීමේ නිරත විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සහභාගි වන මීළඟ තරගය එංගලන්තයට එරෙහිව බෙංගලූරු නුවරදී මෙම මස 26 වැනිදා දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. ඒ අනුව තවත් දින 2 ක් ඉතිරිව ඇති බැවින් තරගයට පෙර මතීෂගේ ආදේශක ක්‍රීඩකයා සංචිතයට ඇතුළත්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. එම ආදේශකයා මැතිව්ස් වුවහොත් එංගලන්ත තරගයේදී චාමික කරුණාරත්න වෙනුවට ඔහු කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරටද එක්වීමට වැඩි ඉඩක් පවතී.


අදහස් (1)

ලෝක කුසලාන තරගාවලියෙන් මතීෂ ඉවතට
  • Anjana Tuesday, 24 October 2023 04:51 AM

    හොඳයි... කෙසේවෙතත් ඔහු ඕවර 50 තරගවලට සුදුසු නැහැ. ඔහු ගොඩක් තරුණයි. ඔහුට තව අත්දැකීම් අවශ්‍යයි. ඔහු වි 20 තරගවලට සුදුසුයි... නමුත් ඕවර 50 තරග වලට නොවේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.