Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය දෙවැනි වරට සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් 7’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (8 සහ 9) දෙදින පැවැත්වේ.
අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ මෙන් මෙම තරගාවලියේදීද දේශීය ක්‍රීඩකයන් වෙන්දේසියකදී කණ්ඩායම්වලට වැඩිම ඉල්ලුම මත ලබාගත් අතර ඔවුන්ට ශ්‍රේණිගත කිරීම මත විශාල මුදලක් හිමිවේ.
මෙවර තරගාවලියට සහභාගිවීමට ෆිජි ක්‍රීඩකයන් 16 ක්, කෙන්යානු ක්‍රීඩකයන් 7 ක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 3 ක් සහ ඇමරිකානු ක්‍රීඩකයන් 2 ක් ලෙස විදේශ ප්‍රබල ක්‍රීඩකයෝ 28 ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
මෙවරද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතන හිමිකාරිත්වය දරණ කණ්ඩායම් 8 ක් තරගාවලියට සහභාගි වේ.
ධනූෂ් දයාන් (ඇක්සස් කිංග්ස්), රිචඞ් ධර්මපාල (කාගීල්ස් ග්ලැඩියේටර්ස්), ෆාෂීල් මරීජා (එටිසලාට් පැන්තර්ස්), සුදර්ශන මුතුතන්ත්‍රි (ඊසි වුල්ව්ස්), තිළිණ වීරසිංහ (කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස්), ජේසන් දිසානායක (සොෆ්ට්ලොජික් වොරියර්ස්), රොෂාන් වීරරත්න (මොබිටෙල් ඊගල්ස්) සහ ධනුෂ්ක රංජන් (වෝකර්ස් වයිපර්ස්) යන ප්‍රබල ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේදී නායකයන් ලෙස කටයුතු කරති.
එක කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයන් 12 දෙනකු සහ විදේශීය ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් වන අතර තරගයකදී කණ්ඩායමකට විදේශ ක්‍රීඩකයන් දෙදෙනකු පමණක් එකවර ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ.
පළමු අදියරේ ලකුණු සමගින් සියලුම කණ්ඩායම් දෙවැනි අදියරට පිවිසෙන අතර අදියරේ දෙකේම ලකුණු එකතුවෙන් සමස්ත ශූරතාව හිමිවේ.
ප්‍රධාන තරගාවලිය පෙරවරු 9.20 ට ආරම්භ වීමට නියමිත අතර එහිදී වෝකර්ස් වයිපර්ස් පිල සහ කාගීල්ස් ග්ලැඩියේටර්ස් පිල අතර පළමු තරගය පැවැත්වේ.
ප්‍රධාන තරගාවලියේ අවසන් තරග අනිද්දා (09) පස්වරු 3.10 ට ආරම්භ වන අතර කුසලාන ශූරතා අවසන් මහ තරගය පස්වරු 5.40 ට ආරම්භ කිරමට නියමිතය.
පළමු අදියරේදී වයස 18 න් පහළ පාසල් තරගාවලියක් පැවැත්වෙන අතර එම තරගාවලියට ඉසිපතන, මහනුවර ධර්මරාජ, මරදාන ශාන්ත ජෝශප්, බම්බලපිටිය ශාන්ත පීතර, කටුගස්තොට ශාන්ත අන්තෝනි, මහනුවර ත්‍රිත්ව, ගල්කිස්ස විද්‍යා සහ මහනුවර කිංස්වුඞ් යන විදුහල් අට සහභාගි වෙයි.
පාසල් තරගාවලිය ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර තරගයෙන් අද පෙරවරු 8.00 ට ආරම්භ වීමට නියමිතය. එම තරගාවලියේ කුසලාන ශූරතා අවසන් මහ තරගය අනිද්දා (09) පස්වරු 4.50 ට ආරම්භ වීමට නියමිතය.
යුද, ගුවන්, නාවික හමුදා සහ සී. ආර්. යන කාන්තා කණ්ඩායම් සහභාගි වන කාන්තා තරගාවලිය දෙවැනි දිනය වන හෙට පැවැත්වේ.
මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ‘ඩයලොග්’ ආයතනය මෙවර ද කටයුතු කරයි. තරගාවලියේ දෙවැනි සහ අවසන් අදියර මේ මස 15 සහ 16 දෙදින කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.