Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු පරාජයට තතු කියයි
වි-20 ලෝක කුසලාන 2024

වනිඳු පරාජයට තතු කියයි

editorial - 2024 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද ‍නිව්යෝක් නුවර සිට..)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මුහුණදුන් පළමු තරගය දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමට ප්‍රධානතම හේතුව වූයේ නසාවු තණතීරුවේ ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව පිළිබඳව නිසි තක්සේරුවකට පැමිණීමට කණ්ඩායම අපෙහොසත් වීම යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග කියයි.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී වනිඳු ඒ බව කියා සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ මෙම තරගයේදී ලබාගත යුතු යැයි තරගයට පෙර සැලසුම් කළ ලකුණු සංඛ්‍යාව අඩු කිරීම සඳහා කණ්ඩායමේ අභ්‍යන්තරයේ කිසිදු කතිකාවතක් නොතිබූ බවත්, එවන් අඩු පාඩු මින් ඉදිරියට සිදු නොවිය යුතු බවත්ය.

“අපි තරගයට කළින් හිතුවෙ පළමුවෙන් පන්දුවට පහරදුන්නොත් ලකුණු 180 කට වඩා රැස්කරන්නයි. ඒකයි කඩුලු ‍වැටෙද්දි පවා අපේ පිතිකරුවො ආරක්ෂාකාරී පිතිහඹයක නි‍රත වෙන්නෙ නැතුව දිගින් දිගටම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට පහර දෙන්න උත්සාහ කළේ. දැන් අපිට තේරෙනවා මේ වගේ තණතීරුවක ලකුණු 120 ක් 130 ක් කියන්නෙ වෙනත් තණතීරුවක ලකණු 180 කට සමාන ලකුණු සංඛ්‍යාවක්. දකුණු අප්‍රිකානු පිතිකරුවන්ටත් ලකුණු 77 හඹායන්න ඕවර 16 ක් පිතිහරඹයේ යෙදෙන්න වුණ ‍එකෙන් අපිට ඒක හොඳටම තහවුරු වෙනවා.”

“ඒත් කණගාටුවට වගේ කණ්ඩායමේ ඒ ගැන කිසිම කතාබහක් තිබුණේ නෑ. පිට්ටනියෙ ඉන්න පිතිකරුවන්ට ක්‍රීඩාගාරයෙන් පණිවිඩයක් ආව නම් ආක්‍රමණශ්‍රීලී වෙන්නෙ නැතුව කෙටි ලකුණු ලබාගනිමින් ඉනිම ලකුණු 120 ක් 130 ක් වෙනකං ඇදගෙන යන්න කියලා තත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. මං හිතනවා අපිට කණ්ඩායම ඇතු‍ලෙ මීට වඩා ඒ ගැන කතාබහ කරන්න තිබුණා කියලා” යැයි වනිඳු කියා සිටියේය.

මෙම තරගය නසාවු තණතීරුවේ පැවැති පළමු ජාත්‍යන්තර තරගය වුවත්, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තමා තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය පන්දු යැවීමේ බළෑණිය වීම නිසා බව වනිඳු කියා සිටියේය. ඒ බව වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.  

“අපේ කණ්ඩායම ගත්තාම පන්දු යැවීමේ අංශය තමයි වඩාත් ශත්තිමත් කියලා කියන්න පුලුවන්. ඒ නිසා අපි හිතුවෙන පළමුවෙන් පන්දුවට පහරදීලා හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස්කරලා ඒක රැකගන්න වගකීම පන්දු යවන්නන්ට භාර දෙන්න. ලකුණු 77 රැකගන්න පවා අපේ පන්දු යවන්‍නෝ දැඩි උත්සාහයක නිරත වුණා. ‍‍‍ඒ ගැන මම සතුටු වෙනවා.”

“මේ තරගෙදි අපි උත්සාහ කළේ මුලින්ම පන්දුව දෝලනය කරලා කඩුලු ගන්න පන්දු යවන්නන්ගෙන් මුල් කඩුලු කිහිපය දවාගෙන, ඊට පස්සෙ මතීෂව ගෙනල්ලා පීඩනය වැඩි කරන්න. ඒකයි ඇන්ජි, දසුන් සහ තුෂාර එක දිගට මුල් ඕවර කිහිපය යැව්වේ. මතීෂගේ හැකියාව තියෙන් පන්දුව රිවස් ස්විං කරන්න. ඒකයි ඔහුව පන්දුව ටිකක් පරණ වෙනකන් තියාගත්තෙ.” යැයි වනිඳු කිය.

අධිවේගී ඕවර 6 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 24 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලකුණු 31 දී දැවී ගියේය. එම අවස්ථාවේදී තවත් නිර්භීත තීරණයක් ගත් ශ්‍රී ලංකා නායකයා පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා අංක 4 ස්ථාන‍යේ පන්දුවට පහරදීමට පිටියට පැමිණියේය.

“ඒ වෙලාවෙ අපි හරිම පොඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ති‍බුණේ. ඒත් එක්කම එයාලා (දකුණු අප්‍රිකානුවො) දඟ පන්දු යවන්නා ගෙනාවා පන්දු යවන්න. මං හිතුවා පිතිහරඹ ලැයිස්තුවේ උඩින් ඇවිල්ලා එයාට ඇටෑක් කරලා ලකුණු සංඛ්‍යාව ටිකක් ඉහළට උස්සලා තියන්න. මීට කලිනුත් මම එහෙම කරලා තියෙනවා. ඒත් මේ තරගයෙදි ඒක සාර්ථක වුණේ නෑ.” යැයිද වනිඳු සඳහන් කළේය.


අදහස් (2)

වනිඳු පරාජයට තතු කියයි
  • RANDIL Wednesday, 05 June 2024 12:39 PM

    හැමදාම පරාජයෙන් පස්සේ ඒක සාධාරණීකරණය කරන්න හදනවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. ආයිමත් ඊළඟ මැච්එක පැරදුණොත් කියන්නේ ඕකමයි.

    Reply 0       0

    SUMANE Wednesday, 05 June 2024 04:57 PM

    ඔය ground එකේ average score එක google එකේ ගහලා බලන්නත් පුළුවන්... හිතුවයි කියන කතා නැතුව අඩුම over එකක 4ක් 5ක් වගේ ගහගෙන ගියා නම් ඕක වෙන්නේ නැහැ.. අඩුම 100 ක් ගැහුවත් එදා මැච් එක දිනනවා..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.