Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනුජ සහන් වමතින් ඇෆ්ඝනිස්ථානය අමාරුවේ දමයි
නිල නොවන ටෙස්ට් තරගය

වනුජ සහන් වමතින් ඇෆ්ඝනිස්ථානය අමාරුවේ දමයි

editorial - 2024 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළමු පෙළ තරගයකදී තුන් ඉරියව් ක්‍රීඩකයකුට කළ හැකිදේ කුමක්ද යන්න කදිමට පැහැදිළිකර දුන් වනුජ සහන්, කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේදී ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම අමාරුවේ දැම්මේය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් ලකුණු 75 ක් ලබාගත් වමත් පිතිකරුවා, වමතින් දඟ පන්දු යවමින්, ඇෆ්ඝනිස්ථානු ඒ කණ්ඩායමේ කඩුලු 6 ම දවාගත්තේය. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙන ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය නිමාවේදී කඩුලු 2 කට ලකුණු 108 ක් ලබා සිටියේ සත්කාරකයන්ට වඩා ලකුණු 129 ක් පසුපසින් සිටිමිනි. හෙට (14 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ මුල් ඉනිමේදී වනුජ සහන් (58/5) කළ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 91 ක් ඇතුළත කඩුලු 7 ක් ඇද වැටිණ. වරෙක කඩුලු 3 කට ලකුණු 104 ක් ලබා සිට ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම ලකුණු 198 කට දැවී ගියේය. 

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිමේ හත්වැනි කඩුල්ලත් ලකුණු 291 දී බිඳ වැටිණ. මෙම අවස්ථාවේදී පිටියට පිවිසි වමත් පිතිකරු, වනුජ සහන්, පන්දු 118 කට මුහුණ දෙමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව මුලු ලකුණු සංඛ්‍යාව 435 ක් දක්වා දුරකට ඇදගෙන ගියේ ශතක ලාභියා වූ සොනාල් දිනූෂට කදිම සහයෝගයක් දෙමිනි. අනතුරුව ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ පිල ලකුණු 198 කට දවාගත් වනුජ සහන් සහ නිෂාන් පීරිස් (37/3) දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 237 ක වාසියක් ගෙන දුන්හ. 

මෑතකදී ශ්‍රී ලංකා පිලේ එක්දින නායක කුසල් මෙන්ඩිස්, පල්ලෙකැළේදී පැවැති තරගයකදී කියා සිටියේ කිසියම් ක්‍රීඩකයකුට කඩුලු 2 ක් දවාගනිමින් ලකුණු 20 ක් - 30 ක් ලබාගත හැකිනම් ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් තමන් සලකන බවයි. එහෙත් ශ්‍රී ලංකා එක්දින නායකයාගේ වදන් සම්පූර්ණයෙන්ම නන් දෙඩවීමක් කළ වනුජ සහන් පළමු පෙළ තරගයකදී තුන් ඉරියව් ක්‍රීඩකයකු සතු වගකීම මෙන්ම වටිනාකමද මැනවින් පහදා දුන්නේය.

 
ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 435 යි
(ඕෂධ ප්‍රනාන්දු 32, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 27, සොනාල් දිනූෂ 145, විෂාද් රන්දික 63, වනුජ සහන් 75, නවීඞ් සද්රාන් 94/2, සියා-වුර්-රෙහෙමාන් 127/6)

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ - පළමු ඉනිම 198 යි
(ඉම්රාන් මීර් 62, බහීර් ෂා 23, රහමනුල්ලා 17, ඉජාස් අහමඞ් 28, අබ්දුල් හදී 45, වනුජ සහන් 58/5, නිෂාන් පීරිස් 37/3)

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලු 2 ට 108 යි
(ඉෂානුල්ලා 27, ඉම්රාන් මීර් නොදැවී 51, ඉජාස් අහමඞ් නොදැවී 23)

 

නිෂාන් පීරිස් ... 

වනුජ සහන්...

 


අදහස් (0)

වනුජ සහන් වමතින් ඇෆ්ඝනිස්ථානය අමාරුවේ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.