Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වයස 19න් පහළ ආසියානු කුසලානයට රටවල් අටක්

වයස 19න් පහළ ආසියානු කුසලානයට රටවල් අටක්

editorial - 2024 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ක්‍රිකට් සංගමයේ සංවිධායකත්වයෙන් මෙම මස 29 වැනිදා සිට දෙසැම්බර් මස 8 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 8 ක් සහභාගි වීමට නියමිතය.

ඉකුත් වසරේදී (2023) පැවැති තරගාවලියේ ශූරයන් වූ බංග්ලාදේශය සමගින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය මෙවර තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබා සිටින අතර නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජපානය ඊට සුදුසුකම් ලැබුවේ වයස 19 න් පහළ ප්‍රිමියර් කුසලාන තරගාවලියේදී දස්කම් දක්වමිනි. 

වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස රටවල් 16 ක සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස මැලේසියාවේදී පැවැති 19 න් පහළ ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නේපාලය සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි අනු ශූරතාව හිමිකර ගත් අතර ජපානය තෙවැනි ස්ථානයට පත් විය. 

මෙවර තරගාවලියේ මූලික වටයේදී ඉන්දියාව, පාකිස්තානය, ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්ථානය සහ නේපාලය ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයට වඩා වැඩි තරගකාරීත්වයක් ‘බී’ කාණ්ඩයේ දැකගත හැකිය. 

තරගාවලිය ආරම්භ කරමින් මෙම මස 29 වැනිදා බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමට එරෙහිව ඇෆ්ඝනිස්ථාන 19 න් පහළ කණ්ඩායම ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදීත්, ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එරෙහිව නේපාල 19 න් පහළ කණ්ඩායම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් තරග බිමට පිවිසෙනු ඇත. 

මූලික වටයේදී ‘ඒ’ සහ ‘බී’ කණ්ඩායම් වල පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් අවසන් පූර්ව වටට සඳහා සුදුසුකම් ලබන අතර අවසන් පූර්ව තරග දෙසැම්බර් මස 6 වැනිදා ඩුබායිහිදී සහ සාජාහිදී පැවැත්වේ. එම තරගවලින් ජය ලබන කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ 8 වැනිදා ඩුබායිහිදීය. 

මේ දක්වා වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලි 10 ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 8 කම ශූරයන් බවට පත්වීමට ඉන්දියාව සමත්ව තිබේ. 2012 වසරේ පැවැති අවසන් මහ තරගය ලකුණු සම වීම හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය සම ශූරයන් බවට පත්ව ඇති අතර 2017 වසරේදී ඇෆ්ඝනිස්ථානයත්, 2023 වසරේදී බංග්ලාදේශයත් ශූරතාව දිනාගෙන ඇත. 

ශ්‍රී ලංකාව වැඩිම අවස්ථා සංඛ්‍යාවකදී මෙම තරගාවලියේ අනු ශූරතාවට හිමිකම් කියන අතර තරගාවලි 10 න් 5 කදීම (1989, 2003, 2016, 2018 සහ 2021) ඔවුන් අනු ශූරයන් බවට පත්ව තිබේ. පාකිස්තානය අවස්ථා 2 කදී (2014 සහ 2017) අනු ශූරයන් බවට පත්ව ඇති අතර බංග්ලාදේශය (2019) සහ ඇෆ්ඝනිස්තානය (2023) එක් අවස්ථාවකදී බැගින් අනු ශූරතාවට හිමිකම් කියා ඇත. 


අදහස් (0)

වයස 19න් පහළ ආසියානු කුසලානයට රටවල් අටක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.