Last Update  :  2024-12-27 20:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ෂාව ඇවිදින් දෙපිලම බේරා ගනී
ගැබා ටෙස්ට් තරගය

වර්ෂාව ඇවිදින් දෙපිලම බේරා ගනී

editorial - 2024 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගැබා ටෙස්ට් තරගය ජයගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට කෙතරම් තදින් ඕනෑකර තිබුණත්, වර්ෂාවෙන් ඊට ඉඩක් නොවීය. දෙවැනි ඉනිමේදී කමකට නැති පිතිහරඹයක නිරත වූ ඕස්ට්‍රේලියානුවෝ ඕවර 54 කින් ලකුණු 275 ක් ලබා තරග ජයගන්නා ලෙස ඉන්දියානුවන්ට අභියෝග කළහ. එහෙත් වර්ෂාව නිසා තරගය අතහැර දැමීමට පෙර, ඉන්දීය පිතිකරුවන් වෙත යැවිය හැකිවූයේ පන්දු 13 ක් පමණි. 

වර්ෂාවෙන් බාධා නොවුණා නම් ජය මෙන්ම පරාජයත් දෙපිලේම ක්‍රීඩාගාර දෙකට එබිකම් කරමින් සිටියේය. තුන්වැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවින් තරග 5 කින් සමන්විත බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලිය මේ වන විටත් 1-1 ලෙසින් සමවී තිබේ. 
තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (18 වැනිදා) දිනය පුරාම යැවිය හැකිවයේ ඕවර 22 කි. 

අද දිනය ආරම්භ වී ඕවර 4 ක් ඇතුළත ඉන්දීය පිලේ අවසන් කඩුල්ලත් දවාගත් ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 185 ක මුල් ඉනිමේ වාසියක් තිබිණ. තරගය ජය ගැනීමේ අරමුණ ඇතිව හිතුවක්කාරී පිතිහරඹයකට පිවිසි ඕස්ට්‍රේලියානුවෝ ඕවර 15 ක් ඇතුළත ලකුණු 60 කට කඩුලු 6 ක් අහිමි කරගත්හ. 

ඇලෙක්ස් කේරි සහ පැට් කමින්ස් ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කළද, ඉන්දීය පිල දවාගැනීමට නම් සාධාරණ ඉලක්කයක් දිය යුතු වූ බැවින් ලකුණු 89 කට කඩුලු 7 ක් තිබියදී ඉනිම නතර කළ ඕස්ට්‍රේලියානු නායකයා, ඕවර 54 කින් ලකුණු 275 ක් ලබා තරගය ජයගන්නා ලෙස ඉන්දියානුවන්ට අභියෝග කළේය. 

ඉන්දීය දෙවැනි ඉනිම ආරම්භ වී ඕවර 2.1 (පන්දු 13) කට පසුව පැවැති මන්දාලෝකය නිසා ක්‍රීඩකයන් ක්‍රීඩාගාරයට ගියද, එයින් මඳ වේලාවකට පසුව ගැබා ක්‍රීඩාංගණයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය. 

දවස පුරාම පැවැති වැසිබර අඳුරු කාලගුණයේ බලපෑම මත වේග පන්දු යවන්නෝ උපරිම ප්‍රයෝජන ගත්හ. පන්දුවේ දෝලනය මෙන්ම අනපේක්‍ෂිත ඉපිළීමත් පිතිකරුවන්ට මහත් හිසරදයක් වී තිබිණ. ජස්ප්‍රීට් බුම්රා, ආකාශ් දීප් සහ මොහොමඩ් සිරාජ් එක්ව ඕවර 11 ක් ඇතුළත කඩුලු 5 ක් දවාගත්තද, ඒ තත්ත්වයට වැඩිමනත් හේතුව වූයේ ඉක්මනින් ලකුණු ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවන් දැක්වූ උනන්දුවයි. 

මිචෙල් මාෂ්ව අංක 4 න් පිටියට එවූ ඕස්ට්‍රේලියානුවෝ ස්ටීවන් ස්මිත්ට කලින් ට්‍රැවිස් හෙඩ් පිටියට යවමින් ලකුණු හඹා ගියහ. එහෙත් ඔවුන් සිතූ තරම් වේගයෙන් ලකුණු ලබාගත නොහැකි විය. යම් හෙයකින් සවස් වරුවේදී තදින් හිරු පායා තිබුණේ නම් ඕස්ට්‍රේලියානුවන් අමාරුවේ වැටෙන්නටත් ඉඩ තිබිණ. කලව මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින ජොස් හේසල්වුඩ්ගේ සේවය ඕස්ට්‍රේලියානුවන්ට නොලැබෙන අතර විස්සයි-20 ක්‍රිකට් යුගයේදී ඕවර 50 කින් ලකුණු 300 ක් ලබාගැනීම අසීරු කාරණාවක් නොවේ. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 445 යි
ඉන්දියාව - පළමු ඉනිම 260 යි

(ලෝකේෂ් රාහුල් 84, රෝහිත් ෂර්මා 10, රවීන්ද්‍ර ජදේජා 77, නිතිෂ් කුමාර් රෙඩ්ඩි 16, ජස්ප්‍රීට් බුම්රා නොදැවී 10, අකාශ් දීප් 31, මිචෙල් ස්ටාක් 83/3, පැට් කමින්ස් 81/4)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 7 ට 89 යි
(ට්‍රැවිස් හෙඩ් 17, ඇලෙක්ස් කේරි නොදැවී 20, පැට් කමින්ස් 22, ජස්ප්‍රීට් බුම්රා 18/3, මොහොමඩ් සිරාජ් 36/2, ආකාශ් දීප් 28/2)
ඉන්දියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 08 යි

- 213


අදහස් (0)

වර්ෂාව ඇවිදින් දෙපිලම බේරා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.