Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සැකසුම - දමින්ද විජේසූරිය)
වසර 150 කට වැඩි අතීතයකට උරුමකම් කියන, ශ්‍රී ලංකාවේ පැරණිතම පාසලක් වන කොළඹ වෙස්ලි විද්‍යාලයට අයත්, බොරැල්ල කැම්බල් පිටියේ පිහිටි ක්‍රීඩා මණ්ඩපය වසර 130 ක් තරම් පැරණි එකකි. එම ක්‍රීඩා මණ්ඩපය මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද අතර පසුගිය 12 වැනිදා උත්සවාකාරයෙන් යළි විවෘත කරන ලදි.
කොළඹ වෙස්ලි විද්‍යාලය මෙන්ම ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමට පෙර ජාතික කණ්ඩායමද (එවකට ලංකා කණ්ඩායම) නියෝජනය කළ ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම වමත් වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන එල්.ආර්. (ලකී) ගුණතිලක මහතා මෙම විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි විය. ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ සභාපති ගරු කිංස්ලි වීරසිංහ පියනම, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අධ්‍යක්ෂ ගරු පුබුදු රාජපක්ෂ සහෝදරතුමා සහ වෙස්ලි විද්‍යාලයේ විදුහල්පති අවන්ක ප්‍රනාන්දු මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මයිකල් තිසේරා මහතා මෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ජාතික හොකී කණ්ඩායමත් නියෝජනය කළ, චන්ද්‍රා ෂාෆ්ටර් මහතාත් විශේෂ ආරාධිතයෝ ලෙසින් මෙම අවස්ථාවට සහභාගි වූහ. මයිකල් තිසේරා මහතා ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ අවධියේදී වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ශතකයක් ලබා ඇත. ආදි වෙස්ලියානුවකු වන ඉයන් කේ කරන් මහතාත්, බර්ටි ඒකනායක මහතා මෙන්ම ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෝද මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූහ.
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම ක්‍රීඩා මණ්ඩපය එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයක ආකෘතිය අනුව, 1890 ගණන්වල අග භාගයේ ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරේ. එය 1940 වන විටත් කැම්බල් උද්‍යානයේ පිහිටි ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සතුව පැවතිණ. පසුව වෙස්ලි විද්‍යාලය විසින් ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයෙන් අත්පත් කරගන්නා ලද්දකි.
1940 ජනවාරි මාසයේදී කැම්බල් පිටිය මෙන්ම එහි ක්‍රීඩා මණ්ඩපයත් වෙස්ලි විද්‍යාලය වෙත පවරාදීමේදී විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ජී.සී.එස්. කොරයා මහතා තීරණාත්මක අවස්ථා කිහිපයකටම සම්බන්ධ විය. ජී.සී.එස්. කොරයා මහතා එවකට කම්කරු, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. එකල්හිම, වෙස්ලි විද්‍යාලයේ උප විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ පී.එච්. නෝනිස් මහතා ද කැම්බල් පිටිය මෙන්ම ක්‍රීඩා මණ්ඩපයත් වෙස්ලි විද්‍යාලයට අත්පත් කරගැනීමේදී විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකි.
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා මණ්ඩප අතුරින් පැරණිතම ක්‍රීඩා මණ්ඩපයක් ලෙසින් අවිවාදයෙන් හැඳින්විය හැකි වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩපය කාලයේ දුහුවිල්ලෙන් වැසී යමින් පැවතිණ. ඒ වෙනුවෙන් ක්‍ෂණික මැදිහත්වීමක් අපේක්‍ෂා කෙරුණු අතර අතීතයේ පැවැති ශ්‍රේෂ්ඨ වාස්තුවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කරගනිමින්, උසස්ම තත්ත්වයෙන් යුත් නවීන පහසුකම් එක්කිරීමේ අරමුණින් මෙම ක්‍රීඩා මණ්ඩපය ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරීමට වෙස්ලි විද්‍යාලයීය පාලනාධිකාරිය තීරණය කළේය.
මෙම ඓතිහාසික පරිශ්‍රය හරහා පියවර තබන අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ක්‍රීඩාව හා ඇලී ගැලී සිටින්නන් දිරිගැන්වීම ක්‍රීඩා මණ්ඩපය ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික අරමුණු විය.
වෙස්ලි විද්‍යාලයේ 150 වැනි වසර සැමරුම් උත්සවයේ අංගයක් ලෙසින්, ක්‍රීඩා මණ්ඩපය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය කපිතාන් නවීන් ද සිල්වා විසින් ආරම්භ කරන ලදි. ක්‍රීඩා මණ්ඩපය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සභාපති අයිවෝ මහරුෆ්, එහි ලේකම් ෂෙහාන් ෂෙරීෆ් සහ භාණ්ඩාගාරික එස්. රෙංගනාදන් යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක විය.
ෆහාඩ් නසීර්, රවීන් විජේසේකර, එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, කේ. දයාපරන්, ජෙරාඩ් ප්‍රනාන්දු, විලියම් ඩියුට්‍රොම්, විදුහල්පති අවන්ක ප්‍රනාන්දු, එල්.ආර්. ගුණතිලක, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුරාඩ් ඉස්මයිල්, එල්.සී.ආර්. විජේසිංහ, බලපත්‍ර වාස්තු විද්‍යාඥ එම්.එෆ්. අමිත්, මේජර් ජනරාල් ඉන්දු සමරකෝන්, මෛත්‍රී විතානගේ සහ විද්‍යාලයේ ක්‍රීඩා පාලක කර්නල් රිසාන් හැමිඩොන් යන මහත්වරු ව්‍යාපෘති කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
කැම්බල් පිටියේදී අලුතින්ම ඉදිකෙරෙන සාම්ප්‍රදායික ක්‍රිකට් ලකුණු පුවරුව තව මාස කිහිපයකින් දැකගත හැකිවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.