Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර 27 කට පසුව ඉන්දියාව පරදවති
3 වැනි එක්දින තරගය

වසර 27 කට පසුව ඉන්දියාව පරදවති

editorial - 2024 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉදිරිපෙළ පිතිකරුවන් ලබාගත් ආරම්භයෙන් විශිෂ්ට ප්‍රයෝජන ගත් දුනිත් වෙල්ලාලගේ (27/5) ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ ඉන්දියාවට එරෙහිව අද (7 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 110 ක අති විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිමේදී සහභාගි වූ 300 වැනි එක්දින තරගය ද වෙයි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 248 ක් ලබාගත්තේය. ඉන්දීය කණ්ඩායම ඕවර 26.2 කදී ලකුණු 138 කට දැවී ගියේය. 

මෙම තරගය ජයගැනීමත් සමගම වසර 27 කට පසුව ඉන්දියාව හමුවේ පැවැති ද්විපාර්ශ්වික තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. තරගාවලියේ පළමු තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. 

හරියටම වසර 27 කට පෙර, 1997 අගෝස්තු මාසයේදී දෙරට අතර පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක ජයක් අත්කර ගත්තේය. එම තරගාවලියේදී ලකුණු 210 ක් සමග කඩුලු 5 ක් ද දවාගනිමින් තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය වත්මන්  ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වී සිටිී. 

ලකුණු 37 දී පළමු කඩුල්ල අහිමි කරගත් ඉන්දිානුවන් පිති හැසිරවූයේ අඳුරේ අතපත ගාන්නවුන් මෙනි. දුනිත් වෙල්ලාලගේ විසින් රෝහිත් ෂර්මා දවාගැනීමෙන් පසුව ඉන්දියානුවෝ වල්මත් වූහ. එතැන් සිට ලකුණු 48 ක් ඇතුළත පිතිකරුවන් හත් දෙනකු දැවී ගිය අතර වොෂිංටන් සුන්දර් (30) සහ කුල්දීප් යාදව් එක්ව, 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 37 ක සම්බන්ධතාවෙන් සිදුවූයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය අඩ හෝරාවකින් පමණ පරාජය කිරීම විනා අනෙකක් නොවේ. 

පිට පිටම තුන්වැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් චරිත් අසලංක, පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීම තෝරා ගත්තේය. පැතුම් නිස්සංක (45), අවිශ්ක ප්‍රනාන්දු (96) සහ කුසල් මෙන්ඩිස් (59) තිදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් කදිම ආරම්භයක් ලබාගත් නමුත් 35 වැනි ඕවරයේදී තරගයට කඩාවැදුණු ඉන්දීය දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 248 කට සීමා කළහ. 

25 වැනි ඕවරයේ සිටම තණතීරුව දඟ කැවෙන්නට පටන් ගත් නමුත් අවිශ්ක ප්‍රනාන්දු (96) සහ කුසල් මෙන්ඩිස් (59) දෙදෙනා අපහසුවකින් තොරවම ලකුණු ලබාගත්හ. තණතීරුව දඟ පන්දු යවන්නන්ගේ දඩබිමක් වෙමින් තිබියදීත් 29 වැනි ඕවරය යැවීමට මොහොමඞ් සිරාජ් කැඳවන ලදි. ප්‍රතිඵලය වූයේ පිට පිටම පන්දු දෙකකට අවිශ්ක ප්‍රනාන්දු ගැසූ අලංකාර හයේ පහර දෙකක් ද සමගින් එම ඕවරයේදී ලකුණු 19 ක් තිළිණ කිරීමයි. 

සියල්ල වෙනස් වූයේ 36 වැනි ඕවරයෙනි. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන රියාන් පරාග් විසින් ශතකය පෙනි පෙනී සිටි අවිශ්ක ප්‍රනාන්දු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නා විට ආරම්භක පිතිකරුවාගේ පන්දු 102 ඉනිමට හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ. 

එතැන් සිට අක්ෂර් පතෙල් (41/1), වොෂිංටන් සුන්දර් (29/1) සහ රියාන් පරාග් (54/3) විසින් ලකුණු 28 ක් ඇතුළත කඩුලු 5 ක් බෙදාගත්හ. 36 වැනි ඕවරයේදීත් කඩුලු 1 කට 171 ක් ව තිබූ ලකුණු පුවරුව, දුනිත් වෙල්ලාලගේගේ දැවී යාමත් සමගින්, ඕවර 8 ක් ඇතුළත කඩුලු 6 කට 199 ක් විය. 

එතෙක් වේලා නැංගුරම දමාගෙන සිටි කුසල් මෙන්ඩිස් දෑත් දිග හැරියේය. කමිඳු මෙන්ඩිස්ගෙන් ඊට කදිම සහයෝගයක් ලැබිණ. මෙන්ඩිස්ලා දෙදෙනා එක්ව, 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කින් ලකුණු 36 ක් එකතුකිරීම නිසාත් අවසන් ඕවරය යැවීමට පැමිණි මොහොමඞ් සිරාජ්ට ලකුණු 13 කින් සංග්‍රහ කිරීමත් නිසා ශ්‍රී ලංකා පිලේ එකතුව ලකුණු 250 ආසන්නයට ගෙන ඒමට කමිඳු මෙන්ඩිස්ට හැකිවිය. 

හෝරා දෙකකට ආසන්න කාලයක් තිස්සේ තම කඩුල්ල ආරක්‍ෂා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් කියා දුන්නේ ‘ඉනිමක නැංගුරමේ’ වටිනාකමයි. පන්දු 82 කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි. ඒවායින් තුනක්ම කුසල් මුහුණ දුන් 76, 77 සහ 79 වැනි පන්දු වලින් ලබාගත් ඒවාය. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (1)

වසර 27 කට පසුව ඉන්දියාව පරදවති
  • Mohomed Wednesday, 07 August 2024 03:55 PM

    අද දෙවියන් කොහේද වැඩ ඉන්නේ කියලා බලන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.