Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර 9 කට පසුව ශ්‍රී ලංකාවට පදක්කමක්
ආසියානු ක්‍රීඩා - 2022

වසර 9 කට පසුව ශ්‍රී ලංකාවට පදක්කමක්

editorial - 2023 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ හංජෝ නුවරදී ආරම්භ වූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (24) දිනය නිමාවේදී ක්‍රිකට් (කාන්තා) ඉසව්වෙන් හැරුණු විට සෙසු ක්‍රීඩා ඉසව් හයකදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පරාජයට පත්වූහ.

ජිම්නාස්ටික් (රිද්මයානුකූල), රුවල් ඔරු, ඔරු පැදීම, පිහිනුම්, චෙස්, වෙරළ වොලිබෝල් යන ඉසව් වෙතින් ශ්‍රී ලංකාව එහිදී පරාජයට පත්විය. 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භක උත්සවය සෙනසුරාදා (23) පැවැත්වුණත් ක්‍රීඩා ඉසව් කීපයක් ඉකුත් අඟහරුවාදා (19) සිට පවත්වාගෙන යයි.

වෙරළ වොලිබෝල් (කාන්තා) ඉසවේ 16 දෙනාගේ වටය දක්වා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තායිලන්තය හමුවේ ලද වට 2-0 ක (10/21 – 10/21) පරාජයෙන් අර්ධ අවසන් පූර්ව වටයේ අවස්ථාව ඔවුන්ගෙන් ගිළිහුණි. දීපිකා බණ්ඩාර හා චතුරිකා මධුෂානි 16 දෙනාගේ වටය දක්වා පැමිණීමේදී ඔවුන්ට ජය ගත හැකි වූයේ මූලික වටයේ දකුණු කොරියාව සමඟ තරගය පමණි.

චීනය, කසකස්තානය, පිලිපීනය යන රටවල් සමඟ පැවැති මූලික වටයේ තරග එහිදී ශ්‍රී ලංකාව පරාජයට පත්විය. රුවල් ඔරු ක්‍රීඩා ඉසව්වට ඊයේ තරග වැදුණු ශ්‍රී ලංකාව ක්‍රීඩිකා 17 හැවිරිදි අරියානා තාල්යා ට්‍රන්චෙල් කාන්තා (ඩිංගි) ඉසව් දෙකෙකදී සිව්වැනි හා අටවැනි ස්ථාන ලැබුවාය.

එහි පිරිමි ඉසව් දෙකකදී තරේන් කාශ්‍යප නානායක්කාර අත්කර ගත්තේ නව වැනි හා හත්වැනි ස්ථානයි. මේ අතර ඔරු පැදීම ක්‍රීඩා ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාව එහිදී කණ්ඩායම් (හබල් දෙක) කාන්තා පිරිමි ඉසව් දෙකකදී පරාජයට පත්විය.

මහේෂි ලියනගේ හා ජයනි හිරුණිකා ෂිවංගන් කාන්තා (කණ්ඩායම් හබල් දෙක) ඉසව්වෙන් කණ්ඩායම් හතරකින් හතරවැනි ස්ථානයට පත්විය. එහි පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම අත්කර ගත්තේ තෙවැනි ස්ථානයයි. නයාස් මොහොමඩ් තෆිරාන් හා නුවන් ඒකනායක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ද්විත්වයි.

මේ අතර ශ්‍රී ලංකාවේ නමගිය පිහිනුම් ශූර 27 හැවිරිදි මැතිව් ඩන්කන් අබේසිංහ ඊයේ සහභාගී වූ මීටර 100 – නිදහස් ආර (පිරිමි) ඉසව්වේ මූලික වටයේ හයවැනි තරගයට පිහිනා යමින් අත්කර ගත්තේ හත් වැනි ස්ථානයයි. ඒ තත්පර 51.18 කටය.

මෙහි මුල් ස්ථානයට පත් කොරියානු ක්‍රීඩකයාගේ දක්‍ෂතාවය (තත්පර 48.54) හා සැසදීමේදී මැතිව් ඔහුට වඩා තත්පර 2.64 ක කාලයක් පසුපසින් වේ. මැතිව් මෙහිදී අභිබවා ගියේ අටවැනි ස්ථානයට පත් තායිලන්ත ක්‍රීඩකයා (තත්පර 54.87) පමණි.

අද (25) දිනයේදී මැතිව් මීටර 50- නිදහස් ආර (පිරිමි) ඉසව්වේ මූලික වටයට සහභාගීවීමට නියමිතය. මෙම ක්‍රීඩකයා සහභාගීවන දෙවැනි ආසියානු ක්‍රීඩා උළෙල මෙයයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල (2016– 2020) දෙකක්ද ලෝක ශූරතා තුනක්ද (2011-15-23) හා දකුණු ආසියනු ක්‍රීඩා උළෙල දෙකක්ද (2016-19) හා 2018 ගෝල්ඩ්කොස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇති මැතිව් දකුණු ආසියානු ක්‍රීඩා රන් පදක්කම් 14ක් මෙතෙක් දිනා ඇත. 

මේ අතර ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩක 17 හැවිරිදි සුසාල් දෙව්ජාන් ද සිල්වා පිරිමි කේවල ඉසව්වට තරග වදිමින් පළමු හා දෙවැනි වට එකතුවේදී ලකුණු 2398 ක් රැස්කර තිබුණි. ඒ වන විට මුල් තැනේ සිටියේ චීන ක්‍රීඩක වෙයි ඊ (ලකුණු 2735) විසිනි.

අද (25) දිනයේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් (කාන්තා), ඔරු පැදීම, ටයිකොන්ඩෝ, පිහිනුම්, ජූඩෝ හා වුෂු, රග්බි යන ක්‍රීඩා ඉසව් සඳහා තවදුරටත් තරග වදියි.

ක්‍රීඩා උළෙල ආරම්භයේදීම සත්කාරක චීනය රන් පදක්කම් 20 ක් දිනා ඊයේ දිනය නිමාවේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම කැපී පෙනේ. ඒ වනවිට දෙවැනි තැනේ පසුවන කොරියාව ලබා තිබුණේ රන් පදක්කම් පහක් පමණි.

දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ඒවනවිට රුවල් ඔරු හා ඉලක්කයට වෙඩි තැබීම යන ක්‍රීඩා ඉසව් දෙකකින් රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකරගෙන පදක්කම් සටහනේ හත්වැනි ස්ථානයට පත්ව තිබුණි.

කෙසේ වුවත් වසර 2014 (ඉංචියොන්) ක්‍රීඩා උළෙලෙන් පසුව ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාගැනීමේ අවස්ථාව අද තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකාව ක්‍රිකට් (විස්සයි - 20) කාන්තා අවසන් මහ තරගයට නිර්දේශ ලබා තිබෙන බැවිනි.


අදහස් (0)

වසර 9 කට පසුව ශ්‍රී ලංකාවට පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.