Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විශ්මිගේ ශතකය අපතේ යයි
1 වැනි එක්දින තරගය

විශ්මිගේ ශතකය අපතේ යයි

editorial - 2024 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සංකේතය ලෙසින් සැලකෙන චමරි අතපත්තු ලකුණු නොලබා දැවී ගියත් සෙසු ක්‍රීඩිකාවන්ට ලකුණු 250 සීමාව පසුකර යාමේ හැකියාව තිබේ. තමන් වඩාත් ධෛර්ය සම්පන්න මෙන්ම පළපුරුදු ක්‍රීඩිකාවන් වීම ඊට ප්‍රධානම හේතුව බව පෙන්වා දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ අයර්ලන්තයට එරෙහිව අද (16 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ඕවර 50 නිමාවන විට කඩුලු 8 කට ලකුණු 260 ක් ලබාගත්හ. එහෙත් 22 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකා ඕර්ලා ප්‍රෙන්ඩගාස්ට් ලබාගත් ශතකය නිසා අයර්ලන්ත කාන්තාවෝ කඩුලු 3 ක තියුණු ජයක් අත්කර ගත්හ. 

පන්දු යැවීමේදී කඩුලු 3 ක් දවාගත් ප්‍රෙන්ඩගාස්ට්ගේ අපරාජිත ඉනිම නිසාම ඇය තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය. පන්දු 107 කට මුහුණ දුන් ප්‍රෙන්ඩගාස්ට්තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේ හතරේ පහර 10 කින් සහ හයේ පහර දෙකකින් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට සංග්‍රහ කරමිනි.

එයින් සිදුවූයේ තවමත් 18 හැවිරිදි විශ්මි ගුණරත්න ලබාගත් අගනා ශතකය අපතේ යාමයි. කෙසේ වෙතත් තරගයේ අවසන් ඕවරය දක්වාම සටන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තමන් වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන්ට ඉතාමත් ආසන්න වෙමින් සිටින බව මොනවට පසක් කළහ. 

අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරදී පැවැති තරගයේ පළමු ඕවරයේදීම නායිකා චමරි අතපත්තු ලකුණු නොලබා දැවී ගියාය. නමුත් විශ්මි ගුණරත්න (101) සහ හසිනි පෙරේරා (46) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 122 ක විශිෂ්ට සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 8 කට ලකුණු 260 ක් ලබාගත්හ.
 
පන්දු 98 කට මුහුණ දෙමින් මංගල එක්දින ශතකය ලබාගත් විශ්මි ගුණරත්න හතරේ පහර 9 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කළාය. හසිනි පෙරේරාගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහරක් සහ හයේ පහරක් පමණක් වූ නමුත් ඇය පන්දු 72 ක් පුරා සිය කඩුල්ල ආරක්‍ෂා කරගනිමින්, විශ්මිට විශිෂ්ට සහයෝගයක් දුන්නාය. එයින් විද්‍යමාන වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ද, වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාවේ න්‍යායධර්ම හා මූලිකාංග කරා අවතීර්ණ වෙමින් සිටින බවයි. 

විශ්මි සහ හසිනි දෙදෙනාම සැලසුම් සහගත පිතිහරඹයක යෙදුණහ. 31 වැනි ඕවරයේදී විශ්මි දැවී යන විටත් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු වේගය 5.00 ඉක්මවා පැවතිණ. එතැන් සිට පසුපස නොබැලූ මැද පෙළ සහ පසුපෙළ පිතිකාරිණියෝ අවසන් ඕවර 20 න් ලකුණු 103 ක් අත්පත් කරගත්හ. 

අයර්ලන්ත පන්දු යවන්නියන් අතුරින් ආරම්භක පන්දු යවන්නී, ඕර්ලා ප්‍රෙන්ඩගාස්ට් (25/3) පමණක් තරමක පාලනයක් ඇතිව පන්දු යැවූ නමුත් සෙසු පන්දු යවන්නියෝ පහරකෑමට ලක්වූහ. ෆ්‍රෙයා සාර්ජන්ට් යැවූ ඕවර 10 න් ලකුණු 64 ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකාරිණියෝ සමත් වූහ. 


අදහස් (0)

විශ්මිගේ ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.