Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි-20 ලෝක ක්‍රිකට් කිරුළ ඉන්දියාවට
වි-20 ලෝක කුසලාන 2024

විස්සයි-20 ලෝක ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

editorial - 2024 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කරට කර සටනකින් අනතුරුව දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කරමින් දෙවැනි ‍වරටත් විස්සයි-20 ලෝක ක්‍රිකට් කිරුළ තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත් විය. මින් පෙර 2007 වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමෙන් අනතුරුව ඉන්දියාව මෙවර ශූරතාවට හිමිකම් කීවේ වසර 17 කට පසුව වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට හර්දීක් පාණ්ඩ්‍යා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 169 ක් පමණි. එහිදී ලකුණු 20 කට කඩුලු 3 ක් බිඳහෙළමින් දකුණු අප්‍රිකානුවන්ට පෙනි පෙනී තිබූ ජය ඔවුන්ගෙන් උදුරාගත් පාණ්ඩ්‍යා ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. 

තරගය ජයගැනීම සඳහා දකුණු අප්‍රිකාවට අවසන් ඕවර 4 දී (පන්දු 24 ක් තුළ) ලබාගත යුතුව තිබුණේ ලකුණු 26 ක් පමණි. ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි හෙන්රිච් ක්ලාසන් (52) සහ ඩේවිඩ් මිලර් (21) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 45 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩගනමින් ජයග්‍රහණය කරා යෑමට මනා ප්‍රවේශයක් ලබා සිටියහ.

ඉනිමේ 14 වැනි ඕවරයේදී කුල්දීප් යාදව්ට එරෙහිව හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 14 ක්ද, 15 වැනි ඕවරයේදී අක්සර් පටේල්ට එරෙහිව හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් ක්ලාසන් සහ මිලර් ඉන්දියානුවන්ට පාඩමක් ඉගැන්වීම සඳහා සිය පිති මුවහත් කරගත්හ. එහෙත් 16 වැනි ඕවරය ලකුණු 4 කට සීමා කළ ජස්ප්‍රීට් බුම්රා ඔවුන්ගේ පීඩනය තරමක් වැඩි කළේය.

ඉන් නිසි ඵල නෙලාගත් පාණ්ඩ්‍යා, තරගය කණපිට හැරවූ‍යේ ක්ලාසන් දවාගනිමින් 17 වැනි ඕවරය ලකුණු 4 කටද, මිලර් සහ කගිසෝ රබාඩා දවාගනිමින් අවසන් ඕවරය ලකුණු 8 කටද සීමා කරමිනි. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් බුම්රා 18 වැනි ඕවරය කඩුල්ලක් දවාගනිමින් ලකුණු 2 කටද, අර්ෂ්දීප් සිං ලකුණු 19 වැනි ඕවරය ලකුණු 4 කද සීමා කිරීමට සමත් වූහ.

පන්දු 27 කට මුහුණදුන් ක්ලාසන් හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 31 කින් ලකුණු 39 ක් ලබාගත්තේ ‍හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ඩි’කොක් සමග එක්ව ‍සිවුවැනි කඩුල්ලට පන්දු 38 කදී ලකුණු 58 ක් එක්කළ ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව, දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ විරාට් කෝලි පන්දු 59 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 76 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත් විය.

මෙවර තරගාවලියේදී ‍කෝලි ලබාගත් පළමු අර්ධ ශතකය මෙය වූ අතර එය සම්පූර්ණ කිරීම සඳහා ඔහුට පන්දු 48 ක් වැය විය. ඉන් අනතුරුව ලකුණු 26 ක් රැස්කිරීම සඳහා ඔහුට වැය වූයේ පන්දු 11 ක් පමණි. ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීමට ගත් උත්සාහයක් වැරදී යෑම හේතුවෙන් මාකෝ ජැන්සන්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි කගිසෝ රබාඩා අතට උඩ පන්දුවක් දෙමින් කෝලි දැවී ගියේය.

දෙවැනි ඕවරයේදීම රෝහිත් ශර්මා (9) සහ රිෂාබ් පාන්ට් (0) පිටියෙන් ඉවත් කළ කේෂව් මහරාජ්, ලකුණු පුවරුව ලකුණු 23 කට කඩුලු 2 ක් බවට පත්කරමින් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එතැන් පටන් ඉනිමට තවත් ලකුණු 11 ක් එකතුවන විට සූර්යකුමාර් යාදව්ද (3) ආපසු ක්‍රීඩාගාරය බලා ගියේ ඉන්දීය කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමිනි.

ලකුණු 34 කට කඩුලු 3 ක් දැවී තිබියදී අක්සර් පටේල් (47) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි, ඉන් නොනැවතී ශිවම් ඩූබේ (27) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ඉනි‍මේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ඩි’කොක්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට අර්ධ ශතකය පෙනි පෙනී සිටි අක්සර් පටේල්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් ඇතුළත් වී තිබිණ. අවසන් ඕවර කිහිපයේදී පන්දු 16 කට මුහුණදුන් ශිවම් ඩූබේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 16 කදී ලකුණු 27 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 175 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.

ඉන්දියාව
රෝහිත් ශර්මා - ඇ.ක්ලාසන් ප.මහරාජ්  9
විරාට් කෝලි - ඇ.රබාඩා ප.ජැන්සන් 76
රිෂාබ් පාන්ට් - ඇ.ඩි’කොක් ප.මහරාජ්  0
සූර්යකුමාර් යාදව් - ඇ.ක්ලාසන් ප.රබාඩා 3
අක්සර් පටේල් - දුවද්දී දැවී ගියා  47
ශිවම් ඩූබේ - ඇ.මිලර් ප.නොකියා 27
හර්දීක් පාණ්ඩ්‍යා - නොදැවී  5
රවින්ද්‍ර ජදේජා - ඇ.මහරාජ් ප.නොකියා 2
අතිරේක ‍ 7
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 176

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
අර්ෂ්දීප් සිං, කුල්දීප් යාදව් සහ ජස්ප්‍රීට් බුම්රා

කඩුලු වැටීම :
1-23(ශර්මා),  2-23(පාන්ට්), 3-34(සූර්යකුමාර්), 4-106(පටේල්), 5- 163(කෝලි), 6-174(ඩූබේ), 7-176(ජදේජා)

පන්දු යැවීම :
මාකෝ ජැන්සන් 4-0-49-1, කේෂව් මහරාජ් 3-0-23-2, කගිසෝ රබාඩා 4-0-36-1, ඒඩ්න් මාක්‍රම් 2-0-16-0, ඇන්රික් නොකියා 4-0-26-2, ත‍බ්‍රේෂ් ශම්ෂි 3-0-26-0


දකුණු අප්‍රිකාව
රීසා හෙන්ඩ්‍රික්ස් - ප.බුම්රා  4
ක්වින්ටින් ඩි’කොක් - ඇ.කුල්දීප් ප.අර්ෂ්දීප් 39
ඒඩ්න් මාක්‍රම් - ඇ.පාන්ට් ප.අර්ෂ්දීප් 4
ට්‍රිස්ටන් ස්ටබ්ස් - ප.අක්සර්  31
හෙන්රිච් ක්ලාසන් - ඇ.පාන්ට් ප.පාණ්ඩ්‍යා  52
ඩේවිඩ් මිලර් - ඇ.සූර්කුමාර් ප.පණ්ඩ්‍යා 21
මාකෝ ජැන්සන් - ප.බුම්රා  2
කේෂව් මහරාජ් - නොදැවී  2
කගිසෝ රබාඩා - ඇ.සූර්කුමාර් ප.පණ්ඩ්‍යා 4
ඇන්රික් නොකියා - නොදැවී 1
අතිරේක  9
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී  169

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා :
තබ්‍රේෂ් ශම්ෂි

කඩුලු වැටීම :
1-07(හෙන්ඩ්‍රික්ස්), 2-12(මාක්‍රම්), 3-70(ස්ටබ්ස්), 4- 106(ඩි’කොක්), 5-151(ක්ලාසන්), 6-156(ජැන්සන්), 7-161(මිලර්), 8-168(රබාඩා)

පන්දු යැවීම :
අර්ෂ්දීප් සිං 4-0-20-2, ජස්ප්‍රීට් බුම්රා 4-0-18-2, අක්සර් පටේල් 4-0-49-1, කුල්දීප් යාදව් 4-0-45-0, හර්දීක් පාණ්ඩ්‍යා 3-0-20-3, රවින්ද්‍ර ජදේජා 1-0-12-0

අවසන් තරගයේ වීරයා - විරාට් කෝලි
තරගාවලියේ වීරයා - ජස්ප්‍රීට් බුම්රා


අදහස් (0)

විස්සයි-20 ලෝක ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.