Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි-20 ලෝක කුසලානයට කණ්ඩායම් 20 ක්

විස්සයි-20 ලෝක කුසලානයට කණ්ඩායම් 20 ක්

editorial - 2023 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

එළඹෙන වසරේ (2024) ජුනි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා කණ්ඩායම් 20 ක් සුදුසුකම් ලබා සිටියි. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක මූලික වටය සඳහා කණ්ඩායම් 20 ක් සහභාගිවන පළමු අවස්ථාවද මෙය වේ. 

අප්‍රිකානු කළාපයේ සුදුස්සන් තේරීම සඳහා පැවැති තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කළ උගන්ඩාව, ඊයේ (30 වැනිදා) පැවැති තරගයේදී රුවන්ඩාවද පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීය. 

උගන්ඩාවට අමතරව නැමීබියාවද අප්‍රිකානු කළාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී සහභාගි සියලුම තරග ජයගනිමින් අපරාජිතවම මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. එම තරගාවලියේදී උගන්ඩාව සහ නැමීබියාව හමුවේ පරාජයට පත්වූ සිම්බාබ්වේ කණ්ඩායමට මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවිය. 

සත්කාරක රටවල්වන ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ඍජුවම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටි අතර අවසන් වරට ඕස්ටේ්‍රලියාවේදී පැවැති (2022) විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු ස්ථාන 8 අතරට පැමිණි කණ්ඩායම්ද කල් තියාම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ස්ථාන වෙන්කරවාගත්හ. 

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව එම කණ්ඩායම් 8 විය. එම කණ්ඩායම් හැරුණු කොට විස්සයි-20 ලෝක ශ්‍රේණිගතකිරීම්වලට අනුව ඉදිරියෙන්ම සිටි සෙසු කණ්ඩායම් දෙක ලෙස ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය මෙවර තරගාවලියට සුදුසුකම් ලැබීය.

අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යුරෝපා කළාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන්ද, ඕමානය සහ නේපාලය ආසියානු කළාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන්ද, කැනඩාව ඇමරිකානු කළාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන්ද, පැපුවා නිව් ගිණියාව නැගෙනහිර ආසියා පැසිපික් කළාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන්ද ජය ලබා මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්ව සිටියි. 

ඉතිහාසයේ පළමු වරට මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය කණ්ඩායම් 5 බැගින් වූ කණ්ඩ 4 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර එම කාණ්ඩ 4 හි පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට තෝරා ගැනෙනු ඇත. 

සුපිරි 8 දෙනාගේ වටයේදී කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 2 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර එම කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබනු ඇත. අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව තරග පැවැත්වෙනු ඇත. 


අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලානයට කණ්ඩායම් 20 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.