Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝනර් නැවතත් නායකත්වය අබියස

වෝනර් නැවතත් නායකත්වය අබියස

editorial - 2022 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායකත්වය දැරීමේ තනතුරු දැරීම සම්බන්ධයෙන් ඩේවිඩ් වෝනර්ගේ ජීවිත කාලය පුරාම බලපාන පරිදි පනවා ඇති තහනම ඉවත් කිරීම සඳහා තවත් පියවරක් ඉදිරියට තබමින්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය, ඔවුන්ගේ නීති රීති සංග්‍රහය සංශෝධනය කිරීමට සූදානම් වෙයි.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ද වන ඩේවිඩ් වෝනර්, 2018 දී දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්ලන්ඩ්ස්හිදී පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසියම් දායකත්වයක් දැක්වූ බවට වැරදිකරුවා විය. ඒ වන විට වෝනර් කණ්ඩායමේ හිටපු උප නායකයා විය. ඒ අනුව ඔහුට මාස 12 ක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන ලද අතර ජීවිතාන්තය දක්වාම නායකත්ව තනතුරු දැරීම තහනම් කරන ලදී.

එහෙත් මේ වන විට ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය පුරප්පාඩු වී තිබේ. ඒ සඳහා වෝනර් සලකා බැලීමට ඉඩ දීම සඳහා, ඩේවිඩ් වෝනර්ට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ටෙස්ට් නායක පැට් කමින්ස් ඇතුළු ක්‍රීඩකයන්ගෙන් මේ වසරේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දිගින් දිගටම ඉල්ලීම් ලැබී තිබේ.

“නවතම සංශෝධනය මගින්, කිසියම් දඬුවමක් විඳි පුද්ගලයෙකුට, සුදුසු කාල සීමාවකින් පසුව තම දඬුවම පිළිබඳ නැවතත් සිතාබලන ලෙස ඉල්ලීමක් කිරීමට ඉඩ සලසයි,” යයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සංශෝධනය සම්මත කළහොත්, දඩුවම සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් විසින් නැවත සමාලෝචනය කරනු ලබනු ඇත.

මේ අතර ඩේවිඩ් වෝනර් පවසා ඇත්තේ තම රට වෙනුවෙන් නායකත්වය දැරීම “වරප්‍රසාදයක්” ලෙස සලකන බවයි.

ඕස්ට්‍රේලියානු පිලේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ඩේවිඩ් වෝනර් පිතිකරුවකු වශයෙන් අසාර්ථක වූ නමුත්, ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් දිනාගත් ක්‍රීඩකයකු විය. ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර වෝනර් කියා සිටියේ නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

- 213


අදහස් (0)

වෝනර් නැවතත් නායකත්වය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.