Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ද්විත්ව ශතකය අත පොවන මානයේ සිටි කුසල් මෙන්ඩිස්ට (196) අවශ්‍යම මොහොතේ ඉවසීම නොතිබීම නිසා පිට පිටම දෙවැනි වරටත් ද්විත්ව ශතකය අහිමිකර ගැනීමෙන් අනතුරුව ආපසු ක්‍රීඩාගාරය කරා ගියේ මහත් මනස්තාපයෙනි.
එසේ වුවත් කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දෙදෙනාගේ විශිෂ්ට සම්බන්ධතාවත්, රොෂේන් සිල්වාගේ අලංකාර පිතිහරඹයත් නිසා චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (02 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 504 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.
බංග්ලාදේශය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 513 ට පිළිතුරු සොයා යද්දී ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලකුණු ලබාගැනීමට පෙරම බිඳ වැටුණේය. එහෙත් ධනංජය ද සිල්වා (173) සහ මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 308 ක සම්බන්ධතාව නිසා තුන්වැනි දිනයේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 7 ක් අතැතිව ලකුණු 9 ක් පමණක් පසුපසින් සිටියද තරගයේ වාසිය තමන් වෙත ඇදගැනීමට සමත්ව සිටියේය.
රොෂේන් සිල්වා ලකුණු 87 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 37 ක් රැස්කරමින් දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 89 ක අඛණ්ඩ සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත්වූහ.
දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රොෂේන් සිල්වා ඉනිම තුනක් තුළ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට සමත්වූයේය. පළමු පෙළ තරග 109 කට ක්‍රීඩාකර ඇති ඔහුගේ පළමු පෙළ ලකුණු 6817 ක් ලබාගැනීමේ සාමාන්‍යය 48.69 කි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී ලබාගැනිමට තිබූ ද්විත්ව ශතකය අහිමිකර ගත් කුසල් මෙන්ඩිස් එහිදි ලකුණු 194 ක් රැස්කරමින් ටෙස්ට් දිවියේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් කර තිබිණ. ඔහු විසින් අද එය පසුකර ගියද ඊට එක්වූයේ තවත් ලකුණු 2 ක් පමණි.
ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස්කරමින් සිය 23 වැනි උපන්දිනය ඉහළින් සැමරීමට තිබූ අවස්ථාව මඟහැරුණු මෙන්ඩිස්ට සිවුවැනි ටෙස්ට් ශතකයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. මේ අනුව වසරක් තුළ ටෙස්ට් ද්විත්ව ශතක දෙකක් ශ්‍රී ලංකා පිලෙන් අහිමිවී ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත්තේ කුමාර් සංගක්කාර විසිනි. ඒ 2015 දි නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදිය.
තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව මුෂ්ෆිකුර් රහීම් විසින් පසුපසට දිවවිත් රැකගැනීම නිසා ලකුණු 196 කට කුසල් මෙන්ඩිස්ගේ ඉනිම අවසන්විය. පන්දු 327 කට මුහුණදුන් කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 22 ක් ඇතුළත්වූ අතර රොෂේන් සිල්වා සමගින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 107 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.
පන්දු 187 කදි ලකුණු 150 සීමාව පසුකළ ධනංජය ද සිල්වා පන්දු 229 කදී හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සමගින් ලකුණු 173 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 1000 සම්පූර්ණ කළ වේගවත්ම පිතිකරුවන් අතර සමතැන ගැනීමටද සමත්විය. ඉනිම 23 කදී ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ධනංජය ද සිල්වා සමත්වූ අතර මින් පෙර රෝයි ඩයස් සහ මයිකල් වැන්ඩර්ට්ද ඉනිම 23 කදී ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත්වූහ.
ඕවර 80 න් පසු අලුත් පන්දුව ලබාගත් බංග්ලාදේශ නායකයා මුස්ටෆිසුර් රහමාන් කැඳවූ අතර ඔහු යැවූ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ගැසූ පහරකින් පන්දුව පිත්තේ පිටත දාරයේ වැදී ඉහළ නැගි අතර කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් එය රැකගැනීමත් සමගින් ධනංජය ද සිල්වාගේ ඉනිම අවසන්විය.
දෙවැනි කඩුල්ල සදහා ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් පැවැත්වූ ලකුණු 308 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් විසින් බංග්ලාදේශයට එරෙහිව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පවත්වා ඇති හොඳම සම්බන්ධතා අතර දෙවැන්නයි. මින් පෙර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන තෙවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 311 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් විසින් බංග්ලාදේශවට එරෙහිව පැවැත්වූ ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතර සටහන් වේ.
වේගපන්දු යවන්නෙක් සහ දඟපන්දු යවන්නන් හයදෙනෙකු උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට බංග්ලාදේශ නායකයා ගත් උත්සාහය නිශ්ඵල විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.