Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා අදියර 23 දා සිට ආරුගම්බේහිදී

ශ්‍රී ලංකා අදියර 23 දා සිට ආරුගම්බේහිදී

ශානුක අරවින්ද - 2019 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකා රළ මත ලිස්සා යෑමේ සම්මේලනය, ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව සංවිධානය කරන ‘සෝ ශ්‍රී ලංකා ප්‍රෝ’ රළ මත ලිස්සා යෑමේ තරගාවලිය මේ මස 23 වැනිදා සිට 29 වැනිදා දක්වා ආරුගම්බේ වෙරළ තීරයේදී පැවැත්වේ.

රළ මත ලිස්සා යෑමේ වෘත්තිකයන්ගේ ලෝක ලීගයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වේ. මේ මස 23 වැනිදා සහ 24 වැනිදා එහි පළමු අදියර පැවැත්වෙන අතර එය දේශීය තරගකරුවන් සඳහා සීමාවේ.

තරගාවලියේ දෙවැනි අදියර 25 වැනිදා සිට 29 වැනිදා දක්වා දින 5 ක් පුරා පැවැත්වෙන අතර මූලික අදියරේදී ජය ලබන දේශීය තරගකරුවන් සහ විදෙස් තරගකරුවන් එහිදී තරග වැදීමට නියමිතය. වෘත්තීය තරගාවලිය වන්නේ 25 වැනිදා සිට පැවැත්වෙන තරගාවලියයි.

“ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර ස්ථානයක් වන ආරුගම්බේහිදී මෙම තරගාවලිය සංවිධානය කිරීමට ලැබීම සම්බන්ධයෙන් අප ඉතාමත් සතුටට පත්ව සිටිනවා” යයි රළ මත ලිස්සා යන්නන්ගේ ලෝක ලීගයේ ඕස්ටේ්‍රලියානු - පැසිපික් සහ ආසියානු කලාපයේ සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ ස්ටාක් මහතා පැවසීය.

“මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී උපරිම ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාව දීමටත්, ඒ සඳහා ලෝකයේ ඉහළම මට්ටමේ දිගු රළ පවතින ආරුගම්බේහි මෙම තරගාවලිය සංවිධානය කිරීමටත් ලැබීම සම්බන්ධයෙන් අප ඉතාම ආඩම්බර වෙනවා. අරුගම්බේහි පවතින මෙම දිගු රළ ඒ සඳහා කදිම පසුබිමක් සපයනවා”

“මෙම තරගාවලියේ සාර්ථකත්වයෙන් ප්‍රයෝජන ලබන්නේ ශ්‍රී ලංකාවේ සිටින රළ මත ලිස්සා යන්නන්ගේ ප්‍රජාව පමණක් නොවේ. රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටින වෘත්තීය ක්‍රීඩකයන් පවා එයින්  මහත් ප්‍රයෝජනයක් අත්කර ගන්නවා” යයිද ඇන්ඩෲ ස්ටාක් මහතා පැවසීය.

රළ මත ලිස්සා යාමේ ලෝක ශූරතා තරගාවලියක් අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති අවස්ථාවේදී ජූලියන් විල්සන් විසින් ශ්‍රී ලංකා අදියරේ ශූරතාව දිනාගන්නා ලදි. එම තරගාවලියේදී තමන් ලද ජයග්‍රහණය ප්‍රයෝජනයට ගත් ඔහු ඉතාම සාර්ථක තරග සමයක් නිමා කරමින් ඉහළ පන්තියේ ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.

“ලෝක ශූරතාවලියේ සුදුසුකම් තේරීම් තරගාවලියක් සඳහා නැවතත් ශ්‍රී ලංකාවට එන්න ලැබීම ගැන මට හිතාගන්නත් බරි තරම් පුදුමයි. අවසන් වරට මෙහි පැවැති තරගාවලියේදී මා ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් මට ඉතාමත් සුන්දර මතක තියෙනවා. ඒ විතරක් නෙමේ. ඒ තරග වාරයේදී  මා ලබාගත් සාර්ථකත්වයට ශ්‍රී ලංකාවේදී ලබාගත් ජයග්‍රහණය කදිම ආරම්භක පිම්මක් වුණා” යයිද විල්සන් පැවසීය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කටයුතු කරන අතර ගුවන් ගමන් අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයි. ලෝකය පුරා ගමනාන්ත රැසකට පියාසර කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවය රළ මත ලිස්සා යන ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා හොඳින් හඳුනයි.

තරගාවලියේ සියලුම සංවිධාන කටයුතු ලංකා ස්පෝට්ස් රයිසන් වෙතිනි. වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ සංචාරකයන් වැඩි වැඩියෙන් නිරතවන ක්‍රීඩා කෙරෙහි ලංකා ස්පෝට්රයිසන් ආයතනය දක්වන්නේ වෘත්තීමය පළපුරුද්දකි.

“ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ සම්මේලනය මේ සම්බන්ධයෙන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළා. මෙම තරගාවලියේ සාර්ථකත්වය ශ්‍රී ලංකා සම්මේලනයේත් දියුණුව පිණිස වනු ඇතැයි මා අවංකවම කල්පනා කරනවා”

“රටවල් 20 කට වැඩි සංඛ්‍යාවකින් එන තරගකරුවන් 100 කට වැඩි පිරිසක් එන නිසා ඉතාමත් හොඳ තරගාවලියක් අපට දැකගන්නට හැකිවේවි” යයිද ස්ටීව් රොබට්සන් මහතා පැවසීය. දේශීය තරගකරුවෝ 32 දෙදෙනෙක් මුලික තරගයට ඇතුළත්ව සිටිති.

 


අදහස් (0)

ශ්‍රී ලංකා අදියර 23 දා සිට ආරුගම්බේහිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.