Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම අවශ්‍ය තැනට

ශ්‍රී ලංකා කණ්ඩායම අවශ්‍ය තැනට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සහ පන්දු රකින්නෝ තම තමන්ගේ රාජකාරිය නිසියාකාරව ඉටුකිරීම නිසා චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී අද (03 වැනිදා) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිවුවැනි දිනට නතර කරනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශය ලකුණු 81 කට කඩුලු 3 ක් අහිමිකර ගත්තේය.

 

මොමිනුල් හක් ලකුණු 18 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 119 ක් පසුපසින් සිටින්නේය. හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට නම් අතැති කඩුලු 7 ආරක්ෂා කරගනිමින් හෙට දිනයේදී ඕවර 90 ක් කඩුල්ලේ රැඳී සිටීමට බංග්ලාදේශ පිත්කරුවන්ට සිදුවනු ඇත.

එක් අවස්ථාවක කිසිවකු නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් යහපත් තැනක සිටි බංග්ලාදේශය ඉම්රුල් කේයිස් දැවීයාමත් සමගින් ඉනිම කඩාවැටීම ආරම්භවිය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ තිබූ අභියෝගය වූයේ අද දිනය නිමාවීමට පෙර බංග්ලාදේශ පිතිකරුවන් කිහිපදෙනෙකු දවාගනිමින් පීඩනය ඔවුන්ට ලබාදී හෙට උදෑසන ඉන් ප්‍රයෝජන ගැනීමටය. එක් වේගපන්දු යවන්නෙක් සමගින් දඟ පන්දු යවන්නන් සිවුදෙනෙකු යොදාගත් ශ්‍රී ලංකා නායකයා බලාපොරොත්තු සාර්ථක කරගනිමින් අවශ්‍ය තැනට කණ්ඩායම රැගෙන යාමට සමත්විය.

දිමුත් කරුණාරත්න හැර අනෙක් සියළුම පිතිකරුවන් ලකුණු අතරට පැමිණිම නිසා තේ පානයෙන් සුළු මොහොතකට පසුව පළමු ඉනිම අත්හිටවු ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලකුණු 713 ක් රැස් කළේය. තේ පානය වනවිට කඩුලු 7 ක් දැවී ලකුණු 705 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකාව තේ පානයෙන් පසුව ඕවර 2.3 ක් පන්දුවට පහරදී ඉනිම අත්හිටුවිය. එම කාළය තුළ ලකුණු 8 ක් ලබාගත්තද කඩුලු 2 ක් අහිමිවි ගිය අතර බංග්ලාදේශය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 200 ක් ඉදිරියෙන් සිටිමට ශ්‍රී ලංකාව සමත්විය.

2014 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ඩකාහිදි ලකුණු 730 ක් රැස්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ලකුණු 700 සිමාව පසුකළ පළමු අවස්ථාව මෙයවූ අතර චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වන්නේය.

සිවුවැනි දිනයේදි තණතීරුව දඟපන්දු යවන්නන් වෙත සහයෝගය දක්වන ආකාරයක් දිස්වූ අතර මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ ලිටන් දාස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 230 කට මුහුණදුන් රොෂේන් හයේ පහරක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 109 ක් රැස්කර සිටියේය.

සිය මංගල ටෙස්ට් ශතකය තමන් සහභාගීවූ තෙවැනි ඉනිමේදීම ලබාගත් රොෂේන් සිල්වා ඉන්දියාව සමගින් පැවැති මංගල තරගයේදී අර්ධ ශතකයක් ලබාගත්තේය. ලකුණක් ලබාසිටියදි මෙහෙදි හසන් යැවූ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට තිබූ අවස්ථාව කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් අතින් ගිලිහියාම නිසා ඉන් නිසි ප්‍රයෝජන ගත් රොෂේන් සිල්වාට මංගල ටෙස්ට් ශතකය කරා යෑමට අවස්ථාව උදාවිය.

රොෂේන් සිල්වා සහ දිනේෂ් චන්දිමාල් එක්ව සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 135 ක සම්බන්ධතාවය හේතුවෙන් ලකුණු 500 කඩයිම පසුකිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවිය.

තයිජුල් ඉස්ලාම් එවූ පන්දුවකට ඉදිරි පාදය සහ පිත්ත යොමු කළද ඒ අතරින් පැමිණි පන්දුව කඩුල්ල සොයා යෑම නිසා ලකුණු 87 ක් රැස්කර සිටි දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම අවසන්විය. පන්දු 185 කට මුහුණ දෙමින් හතරේ පහර තුනක් සිය ඉනිමට එක්කර ගත් චන්දිමාල් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 63 ක සම්බන්ධතාවයක් නිරෝෂන් දික්වැල්ල සමගින් පැවැත්වීය.

සිය 8 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ නිරෝෂන් දික්වැල්ල දැවීයන විට පන්දු 61 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය. මේ වනතෙක් ටෙස්ට් ශතකයකට හිමිකම් කීමට දික්වැල්ලට අවස්ථාවක් හිමිනොවීය.

ඊයේ (2 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 504 ක් රැස්කර සිටි ශ්‍රී ලංකාව අද දිවා ආහාරයට පෙර එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 108 ක් රැස්කරගත් අතර දිවා ආහාරය සදහා තේ පානය අතර කාළය තුළ කඩුලු 3 ක් අහිමිකර ගනිමින් ලකුණු 93 ක් ලබාගත්තේය.

 

 

තරගයේ විශේෂ අවස්ථා ...

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම අවශ්‍ය තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.