Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට
2 වැනි විස්සයි-20 තරගය

ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට

දමින්ද විජේසූරිය - 2024 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

තමන් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේ අහම්බයකින් නොවන බව කදිමට තහවුරු කළ ඉන්දියානුවෝ, තරගයක් ඉතිරිව තිබියදීම, මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය ජයගත්හ. ඊයේ සහ අද පැවැති තරග දෙකේදීම පහසු ජයග්‍රහණ අත්කරගත් ඉන්දීය කණ්ඩායම අද (28 වැනිදා) පැවැති දෙවැනි තරගයේදී කඩුලු 7 ක ජයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 9 කට ලකුණු 161 ක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා ඉනිමෙන් පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන්, ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, ඉන්දියානුවන්ගේ ඉලක්කය ඕවර 8 කදී ලකුණු 78 ක් ලෙසින් සංශෝධනය කෙරිණ. එහෙත් තම පිතිහරඹයේ ශක්තිය මොනවට පැහැදිළි කළ ඉන්දීය කණ්ඩායම, පන්දු 9 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ 2-0 ක තරගාවලි ජයක් ද සුරක්‍ෂිත කරගනිමිනි.

ඉනිම දෙක අතර පැවැති වර්ෂාව නිසා විනාඩි 70 ක කාලයක් අහිමි විය.

ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ පිතිකරුවන් ලකුණු ලබාගැනීම මැද පෙළ පිතිකරුවන්ට අහිතකරද යන්න නැවතත් ප්‍රශ්න කිරීමට සිදුව තිබේ. සෙනසුරාදා තරගයේදී පන්දු 32 කින් කඩුලු 9 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවැති තරගයේදීත් පන්දු 30 ක් ඇතුළතදී ලකුණු 31 කට කඩුලු 7 ක් අහිමි කරගත්තේය.

මැද පෙළ පිතිහරඹය කඩාවැටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 161 ක් පමණි.

ඕවර 15 ක් නිමාවේදී කඩුලු 2 කට ලකුණු 130 ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිම, නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 9 කට ලකුණු 161 ක් ලෙසින් සීමා කෙරිණ. කාන්තා කණ්ඩායමේ ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා පීඩනයට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද තරගයේදී කබලෙන් ලිපට වැටුණහ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

“ඉස්සරවෙලා පන්දුවට පහරදෙන්න සිද්ධ වුණාට කමක් නෑ” යයි ශ්‍රී ලංකා නායක චරිත් අසලංක කී කතාවට සාධාරණය ඉටුකළ පැතුම් නිස්සංක (32), කුසල් ජනිත් පෙරේරා (53) සහ කමිඳු මෙන්ඩිස් (26) එක්ව ඕවර 15 කින් ලකුණු 130 ක් පුවරුවට එකතු කළහ. එම ඕවර 15 ඇතුළත ලකුණු 6 කට අඩුවෙන් සටහන් වූයේ ඕවර 2 කදී පමණි. එහෙත් අත පොවන මානයේ තිබූ තරගය පාලනය කරගැනීමේ රැහැන පසුපෙළ පිතිකරුවන් විසින් වීසිකර දමනු ලැබූහ.

කුසල් ජනිත්ගේ උඩපන්දුවක් අතහැරීමෙන් ඔහුට අර්ධ ශතකය තිළිණ කළ රින්කු සිං, එයින් පසුව එකම ඕවරයකදී කුසල් ජනිත් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාගේම උඩපන්දු ගිලදමමින් ශ්‍රී ලංකාව අයසට ඇද දැමීමේ පළමු ගල් පහර දෙකම ගැසුවේය. එතැන් සිට ලකුණු 21 කට කඩුලු 5 කි.

දසුන් ශානක සහ වනිඳු හසරංග දෙදෙනාම මුහුණ දුන් පළමු පන්දු දෙකේදීම දැවී ගියහ. චරිත් අසලංකගේ පිත්තටම ලැබුණු පන්දුව ඩීප් ලෝන්ග් ඕන් හි සිටි සංජු සැම්සන්ගේ දෑත් අතර සැඟවී යන විට ශ්‍රී ලංකා නායකයාගේ නමට ඉදිරියෙන් සටහන් වී තිබුණේ ලකුණු 14 කි.

තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය හෙට (අඟහරුවාදා) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (1)

ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට
  • මංජුල Monday, 29 July 2024 11:25 AM

    කන්ඩායමට වෙල්ලාලගේ වගේ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් මහින්ද තීක්ෂණගේ තැනට දැම්මා නම් හොඳයි. පන්දු යැවීම නම් අන්තිමයි. විකට් ටු විකට් බෝල් කරන්න පන්දු යවන්නන්ට හැකියාවක් තියෙන්න ඕනෑ. ඇත්තටම මෙයාලා ටෙස්ට් තරග ක්‍රීඩා කරන්නම ඕනෑ. ක්‍රිකට් හැදෙන්නේ එතැනින්. විකට්එක දෙන්නැයි විකට්එකේ ඉන්න හැකියාව හැදෙන්නම ඕනෑ. අදටත් බැටින් කෝච් කන්ඩම්බි තරග තරගාවලි කීයක් මෙහෙම පැරදුණාද? ඒ අඩුපාඩුව කෝච්ට හදලා දෙන්න බැරි නම් ඒ කෝච් ෆේල්. රොමේෂ් රත්නායක අරවින්ද සිල්වා හෂාන් තිලකරත්න මාවන් අතපත්තු දිල්ශාන් වගේ දක්ෂයින්ගේ හැකියාවන් නිකම්ම ගෙවිලා යනවා. ඔවුන්ගෙන් වැඩක් ගන්න ඕනෑ. ඔබලා හරවත්ව ක්‍රීඩා විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. ස්තුතියි...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.