Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය අබියස

ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය අබියස

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළිතුරු සොයාගත හැකිනම් පැනය මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා තුන්කොන් තරගාවලිය ආරම්භ වීමට පෙර තිසර පෙරේරාට කීවේ කුමක්ද?

සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයාව සිටි තිසර පෙරේරා නායකත්වයෙන් ඉවතට ඇද දැමීමෙන් පසුව, වෙන කවදාටත් වඩා හොඳින් ක්‍රීඩා කරන්නට පටන් ගැනීමේ රහස ඇත්තේ එතැනය. වසර ගණනාවක් තිස්සේ යන්තම් කණ්ඩායමේ රැඳී සිටීමට තරම් වරින් වර දස්කම් පෙන්වමින් සිටි තිසර පෙරේරා හදිසියේම තරග දිනවන්නකු වී තිබේ. බංග්ලාදේශයේදී පැවත්වෙන තුන්කොන් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වශයෙන් ලකුණු 163 කට කඩුලු 11 ක් දවාගෙන (කඩුල්ලක සාමාන්‍යය 14.81) සිටින තිසර පෙරේරා තරග 4 කදී ලබාගත් ලකුණු 132 ඉනිමක සාමාන්‍යය 66.00 කි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී හෙට (27 වැනිදා) පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු තබා ඇත්තේ තිසර පෙරේරා කෙරෙහිය. තරගය හෙට (සෙනසුරාදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.30 ට ආරම්භ වීමට නියමිතය.

අවසන් තරගයෙන් එළියට විසිවීමේ එළිපත්තට තල්ලු වී සිටි ශ්‍රී ලංකාව අවසන් තරගයට කඩාවැදුණේ ඇදහිය නොහැකි ආකාරයෙනි. එහෙත් අතීතය සිහිපත් කරන්නෙකුට නම් ශ්‍රී ලංකා පිලේ එම කඩාවැදීම ඔවුන්ගේ පැරණි තරග විලාසයට නැවතත් අවතීර්ණවීම මිස වෙන යමක් නොවන බව පෙනේ.

‘සැත්කම්’ යන්න සංගක්කාර - මහේල යුගයේදී අන්තර්ජාතික ක්‍රිකට් විචාරකයන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භාවිතා කරන ලද විශේෂණ පදයක් විය. ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වන ලද්දේ “ශ්‍රී ලංකා සැත්කම් කණ්ඩායම” ලෙසිනි. එයින් අදහස් වූයේ ශල්‍යාගාරයක සැත්කමක් කරමින් සිටින කණ්ඩායමක් මෙන් සියලුම දෙනා තම තමන්ගේ කටයුතු 100% ක් නිවැරදිව කිරිමයි.

බ්‍රහස්පතින්දා පැවැති තරගයේදීත් දැකගත හැකිවූයේ එයම මිස අනෙකක් නොවේ. ලකුණු 16 ක් තුළදී මුල් පෙළ කඩුලු 3 ක් බිම දැමූ වේග පන්දු යවන්නෝ සෙස්සන්ට කිසිවක් ඉතිරි නොකරම තමන්ගේ කාර්යය අහවර කළහ. ලද අවස්ථාවේදී ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත් ලක්ෂාන් සඳකැන් බංග්ලාදේශ ඉනිම නිමා කිරීම හේතුවෙන් අසේල ගුණරත්නට හෝ අකිල ධනංජයට පන්දුව අතට ගැනීමටවත් නොහැකි විය.

විශිෂ්ට පන්දු විසිකිරීමකින් සකිබ් අල් හසන්ගේ ගමන නවතාලූ ධනුෂ්ක ගුණතිලක ටමීම් ඉක්බාල්ගේ උඩපන්දුව සොයා පියාඹා ගියේ සෙසු පන්දු යවන්නන්ට දිනයේ වට්ටෝරුව කුමක්ද යන්න කියාදෙමිනි.
අදහාගත හැකිද? ඔව්...මේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. වසර එකහමාරකට ආසන්න කාලයක් අමතකව තිබූ ඔවුන්ගේම රිද්මයයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලාංකීයයන්ටම අනන්‍ය වූ කලාවයි.

කණ්ඩායමක් දිගින් දිගටම ජයගන්නේ නම් කණ්ඩායමේ සාමාජිකයන් අතර අනෝන්‍ය අවබෝධය ඉහළ යයි. තීරණාත්මක ස්ථාන වෙනස් වන විටත් කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ නම් මෙම අනෝන්‍ය අවබෝධය ඉතාම ඉහළ මට්ටමක පවතී.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්වීම බලවත් පාඩුවක් වන නමුත් චන්දිමාල් ඉතාමත් හොඳින් කණ්ඩායම මෙහෙයවමින් සිටී. ඔහුට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේත් සහයෝගය හොඳින් ලැබෙන බව පෙනේ.

අනෙක් පැත්තෙන් බලන කල්හි පසුගිය වසර දෙකක කාලයේදී බංග්ලාදේශය සිය මව්බිමේදී පරාජය කිරීමට ඉතාමත් අපහසු වූ කණ්ඩායමකි. ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ සිය විශාලතම එක්දින ජයග්‍රහණය ලබාගත් බංග්ලාදේශ කණ්ඩායම සතියකටත් අඩු කාලයක් ඇතුළතදී ඔවුන්ගේ දරුණුතම එක්දින පරාජයන් හතරෙන් එකකට ඇද දැමීමට ශ්‍රී ලංකා පිල සමත් වූයේය.

ඉතිහාසය සටහන් වන්නේ මෙලෙසිනි.

ශ්‍රී ලංකාව වසර 2009 සිට මේ දක්වා මිර්පූර්හිදී අවසන් මහ තරග තුනකට මුහුණ දී තිබේ. බංග්ලාදේශයට එරෙහිව 2009 දීත්, ඉන්දියාවට එරෙහිව 2010 දී සහ පාකිස්තානයට එරෙහිව 2014 දී එම තරග පවත්වා ඇති අතර එම තරග තුනම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ. එම අවසන් මහ තරග තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය හඹා යමින් ජයග්‍රහණය කර ඇත.

සිම්බාව්බේ පිලත් තමන් කලින් සේවය කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමත් හමුවේ දැවැන්ත පරාජයන් දෙකකින් සිය ගමන ඇරඹූ චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායමේ පුහුණුකරුවා පමණි. ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් 11 දෙනෙකි. එහෙත් ලකුණු 163 ක අතිශය දරුණු පරාජයක සිට තරග දෙකක ඇවෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානයකට අත පොවන මායිමේ සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමත් කුසලානයත් අතර ඇත්තේ ජයග්‍රහණයක පරතරයක් පමණි.

මෙය ලෝක කුසලානය නැතහොත් ශූරයන්ගේ කුසලානය හෝ අඩුතරමේ ආසියානු කුසලානය වත් නොවේ. එබැවින් ඒ ගැන අගේ කරන්නට යාම අණුවන කමකි. එහෙත් එය දිනාගත හැකිනම් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් විශ්වාසනීයත්වය ලැබෙනු ඇත. එය නව ගමනක ආරම්භය වනු නිසැකය.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා, ෂෙහාන් මධුශංක සහ වනිඳු හසරංග

බංග්ලාදේශ සංචිතය
මෂ්රාෆි මොර්ටසා (නායක), ටමීම් ඉක්බාල් අනමුල් හක්, සකිබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, මහමදුල්ලා, ශබීර් රහමන්, අබුල් හසන්, නසීර් හොසේන්, රුබෙල් හොසේන්, මුස්ටෆිසුර් රහමන්, මෙහෙදි හසන්, මොහොමඞ් සයිෆුඩීන්, සුන්සමුල් ඉස්ලාම්, මොහොමඞ් මිතුන් සහ සහ ඉම්රුල් කේයිස්

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.