Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන දිනති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන දිනති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේදී පස්වැනි වරටත් ඊයේ (09) ශූරතාව දිනාගැනීමත් සමඟ ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියට වසර කීපයකට පසු සුදුසුකම් ලබාගැනීමට සමත් විය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ශූරතාව දිනාගැනීම කැපී පෙනුණි.  

මීළඟ ලෝක දැල්පන්දු ශූරතාවලිය ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල්හිදී පැවැත්වීමට නියමිත අතර ආසියානු කුසලාන අනු ශූරියන් වූ සිංගප්පූරුව ද එම තරගාවලියට සුදුසුකම් ලැබීය.   

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ක් ලෙස පරාජය කිරීමට සමත් වූහ.
මෙම තරගාවලිය රටවල් 12 ක සහභාගිත්වයෙන් දින නවයක් පුරා සිංගප්පූරුවේදී පැවැත්විණි.  

ශ්‍රී ලංකා-ව සහ සිංගප්පූරු අතර අවසන් මහා තරගයේ පළමු කාර්තුව ලකුණු සමව නිමාවූයේ 16-16 ක් ලෙස දෙපිලටම තරගය විවෘත කරමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපුරුදු රිද්මයට පැමිණෙමින් ලකුණු 16-10 ක් ලෙස දෙවැනි කාර්තුව ජය ලැබූහ. 

දෙවැනි කාර්තුව නිමාවෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව 32-26 ක් බවට පත්විය. එහිදී නායිකා චතුරංගි ජයසූරිය, ගයනි දිසානායක, දුලංගි වන්නිතිලක සහ ආදේශක ක්‍රීඩිකාව වූ තිලිණි වත්තේගෙදරගේ දක්ෂතා කැපීපෙනුණි.

තෙවැනි කාර්තුව ද වඩාත් තරගකාරීව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල එම කාර්තුව ජයගත්තේ ලකුණු 18-12 ක් වශයෙනි. එම කාර්තුව අවසන් වෙද්දී සමස්ත ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 50-38ක් වශයෙන් ශ්‍රී ලංකාව පෙරමුණේ තබමිණි. 

ගයනි දිසානායක, දුලංගි වන්නිතිලක සහ ආදේශක ක්‍රීඩිකාව වූ තිළිණි වත්තේගෙදර එම කාර්තුවේදී ලකුණු සොයාදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත් කළහ. තෙවැනි කාර්තුව ශ්‍රී ලංකාවට තීරණාත්මක වූයේ එම කාර්තුවේ ලබාගත් වැඩි ලකුණු පරතරය හේතුවෙනි. 

ශ්‍රී ලංකා පිල සිවුවැනි කාර්තුවේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට ලකුණු 12ක් ලබාගැනීමට අවස්ථාව දුන්න ද, ඔවුන් හමුවේ ලැබූ ලකුණු 19 ශ්‍රී ලංකාවට පස්වැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර දුන්නේය. 

ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව තරගයේදී ලකුණු 55-46 කින් හොංකොං පිල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී චීන තායිපේ ලකුණු 137-05ක් ලෙස ද, ඉන්දියාව ලකුණු 101-29 ක් ලෙස ද, පහසුවෙන් පරාජය කළේය. ශ්‍රී ලංකා පිල දෙවැනි වටය හෙවත් කුසලාන වටයේ සුපිරි කණ්ඩායම් හතර තුළ සිංගප්පූරුව ලකුණු 58-37 ක් ලෙස ද, මැලේසියාව ලකුණු  62-59 ක් ලෙස ද, හොංකොං ලකුණු  71-48 ක් ලෙස ද, පරාජය කරමින් කිරුළට ආසන්න විය.

 තිලකා ජිනදාස මෙනවිය ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ පුහුණුකාරිය ලෙස පත් කිරීමෙදී දැඩි බාධා එල්ල වූ අතර, එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැඩි ස්ථාවරයක සිට ඇය පුහුණුකාරිය ලෙස පත්කළේය. වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අවසන් මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට කටයුතු කිරීම අගය කළ යුතුය.  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ටි්‍රක්සි නානායක්කාර මහත්මියගේ දුරකථනයට ඇමතුමක් ලබාදෙමින් ශ්‍රී ලංකා පිලට සුබ පැතුම් එක් කළේය. 

තරගාවලියේ තෙවැනි ස්ථානය මැලේසියාව හිමිකරගත්තේ ලකුණු 52-46 ක් වශයෙන් හොංකොං පිල පරදවමින්ය. 

ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සඳහා සිංගප්පූරුවේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් වැඩි ප්‍රේක්‍ෂක පිරිසක් ගෙන්වා ඊට අවශ්‍ය පහසුකම් සපයා තිබුණු අතර, ඒ කටයුතු සියල්ල සිංගප්පූරුවේ  ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් අමීර් අජ්වඞ් මහතාගේ මූලිකත්වයෙන් සිදු කර තිබුණි.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.