Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පෙරළිකාර ජයක්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පෙරළිකාර ජයක්

editorial - 2023 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එදා මෙදා තුර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට එක්දින තරගයකදී නවසීලන්ත කාන්තා කණ්ඩායම පරාජය කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (27 වැනිදා) සමත් විය. අයි.සී.සී. කාන්තා ලෝක ශූරතාවලියට අයත් තරගයක් වූ මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී කඩුලු 9 කින් නවසීලන්ත ක්‍රීඩිකාවන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර එක්දින තරග 9 ක් පැවැත්වී තිබූ අතර එම තරග සියල්ලම ජයගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වී සිටියහ. මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත්වන විට නවසීලන්ත කාන්තා කණ්ඩායම ලෝක ශ්‍රේණිගතකිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රැදී සිටියේ එහි 10 වැනි ස්ථානයේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පන්දු 6 ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී සිය 7 වැනි එක්දින ශතකය ලබාගත් නායිකා චමරි අතපත්තු, පන්දු 83 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 108 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය. 

 

ක්‍රීඩා කළ අවසන් එක්දින ඉනිම් 10 තුළ චමරි ලබාගත් තෙවැනි ශතකය මෙය වූ අතර මෙම ශතකයත් සමග එක්දින ලකුණු 3000 සීමාව ඉක්මවා යෑමටද ඇයට හැකි වූවාය. විෂ්මි ගුණරත්න (50) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 151 කදී ලකුණු 159 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමරි සමත් වූ අතර පන්දු 74 කදී වාර්තා වූ විෂ්මිගේ මංගල අර්ධ ශතකය හතරේ පහර 3 කින් සමන්විත විය. 

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 28 කට සීමා වූ අතර කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 170 ක් ලබාගත්තේය. එහිදී සුගන්දිකා කුමාරි, කවීෂා දිල්හාරි සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවාගත් අතර ඉනෝකා දුවද්දී දවාගැනීම් දෙකකටද දායක වූවාය. 

නවසීලන්ත කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ ඇමිලීයා කේර් පන්දු 51 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක් රැස්කළ අතර මැඩී ග්‍රීන් පන්දු 30 කින් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ආරම්භක පිතිකාරිණී සුසූ බේට්ස් පන්දු 36 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් රැස්කළාය. 

නවසීලන්ත කාන්තා පිල - ඕවර 28 කදී කඩුලු 5 ක් දැවී 170 
(සුසී බෙට්ස් 28, ඇමීලියා කේර් 40, සොෆී ඩේවින් 19, මැඩී ග්‍රීන් 38, ජෝජියා ප්ලිමර් නොදැවී 23) 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 27 කදී කඩුල්ලක් දැවී 172 
(චමරි අතපත්තු නොදැවී 108, විෂ්මි ගුණරත්න 50) 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.