Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වැස්සෙන් අමාරුවේ වැටෙති
යොවුන් කාන්තා ආසියානු කුසලාන

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වැස්සෙන් අමාරුවේ වැටෙති

editorial - 2024 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම මේ වන විට මහත් අසීරු තත්වයකට පත්ව සිටියි. ඒ සුපිරි 4 දෙනාගේ වටය යටතේ නේපාල යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (19 වැනිදා) පැවැති තරගය වැස්සට සේදී යෑම හේතුවෙනි. 

එම තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්වීමත් සමග ශ්‍රී ලංකාව සුපිරි 4 දෙනාගේ වටයට ඇතුළත්ව සිටින කණ්ඩායම් අතර අවසන් ස්ථානයට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියට තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා හෙට (20 වැනිදා) ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සහිතව ජයගත යුතුව තිබේ. 

මූලික වටයේදී බංග්ලාදේශ යොවුන් කාන්තා කණ්ඩායම හමුවේ පරාජය වුවද, මැලේසියානු යොවුන් කාන්තා කණ්ඩායම පරාජය කරමින් ‘බී’ කාණ්ඩයේ දෙවැනියා ලෙස සුපිරි 4 දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, විසඳුමකින් තොරව නිමාවට පත්වූ නේපාල තරගයේදී ලැබූ ලකුණද සමග මේ වන විට ලකුණු 3 ක් ලබා සිටිති. 

සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට ඉහළින් රැදී සිටින ඉන්දියාව ලකුණු 5 ක්ද, බංග්ලාදේශය සහ නේපාලය ලකුණු 4 බැගින්ද ලබා සිටියි. හෙට දිනයේදී ශ්‍රී ලංකා - ඉන්දියාව තරගයට අමතරව බංග්ලාදේශ - නේපාල තරගයද පැවැත්වෙන අතර එම තරගයෙන් ජය ලබන කණ්ඩායම අනිවාර්යෙන්ම අවසන් මහ තරගයේ ස්ථානයක් හිමිකරගනු ඇත. 

යම් හෙයකින් බංග්ලාදේශ - නේපාල තරගය වර්ෂාවට සේදී ගියහොත් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාවද 5 ක් බවට පත්වන අතර ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් එවිට කණ්ඩායම් හතරේම ලකුණු සංඛ්‍යාව 5 ක් බවට පත්වනු ඇත. එවැනි අවස්ථාවකදී ඉහළම ශුද්ධ ලකුණු සංඛ්‍යාවන්ට හිමිකම් කියන කණ්ඩායම් 2 අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. 

ශ්‍රී ලංකා - ඉන්දියා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 7.00 ටද, බංග්ලාදේශ - නේපාල තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.30 ටද ආරම්භ වේ. මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (22 වැනිදා) පෙරවරු 11.30 ට ආරම්භ වීමට නියමිතය.  

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වැස්සෙන් අමාරුවේ වැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.