Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොමිනුල් හක් (නොදැවී 175) සහ මුෂ්ෆිකුර් රහීම් (92) එක්ව තෙවැනි කඩුල්ල සදහා ගොඩනැගූ ලකුණු 236 ක සම්බන්ධතාවය හේතුවෙන් චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 374 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ. දිනයේ යැවුණු ඕවර 90 පුරාම ඕවරයකදී ලකුණු 4.00 කට වැඩි වේගයක් පවත්වාගෙන ගිය බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිදෙන්නටම පහර දුන්හ.
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන රංගන හේරත්ගේ ඕවර 20 න් ලකුණු 100 ක් උදුරාගත් බංග්ලාදේශීහු ඩිල්රුවන්ගේ ඕවර 24 න් ලකුණු 98 ක් උදුරා ගත්හ. වේග පන්දු යවන ළහිරු කුමාරට පහර දුන්නේ ඕවරයකදී ලකුණු 5 කට වැඩි වේගයක් රඳවා ගනිමිනි.
සිය පස්වැනි ටෙස්ට් ශතකය පන්දු 96 කදී ලබාගත් මොමිනුල් හක් බංග්ලාදේශය වෙනුවෙන් දෙවැනි වේගවත්ම ටෙස්ට් ශතකය ලබාගත් පිතිකරුවා බවට පත්වූ අතර දිනය නිමාවනවිට ලකුණු 175 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටී. පන්දු 203 කට මුහුණදුන් මොමිනුල් හක්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් විය.
ලකුණු 2000 සිමාව පසුකළ මොමිනුල් හක් බංග්ලාදේශය වෙනුවෙන් එම දස්කම කළ වේගවත්ම පිතිකරුවා බවට පත්වූ අතර ඒ සදහා ඔහුට අවශ්‍ය වූයේ ඉනිම 47 ක් පමණි. මීට පෙර එම වාර්තාවට හිමිකම්කී ටමීම් ඉක්බාල්ට ලකුණු 2000 සිමාව පසුකිරීමට ඉනිම 53 ක් අවශ්‍ය විය.
දිවා ආහාරයට පෙර කඩුලු 2 ක් දැවී ලකුණු 120 ක් රැස්කළ බංග්ලාදේශ පිතිකරුවෝ දිවා ආහාරය සහ තේ පානය අතර කාළය තුළ කඩුල්ලක් ලබානොදෙමින් ලකුණු 130 ක් රැස්කළ අතර තේ පානයෙන් පසුව දිනය නිමාවනතෙක් කාළය තුළ කඩුලු දෙකක් අහිමිකර ගනිමින් ලකුණු 124 ක් රැස්කිරීමට සමත්වූහ.
වේගවත් ආරම්භයක් ලබාගත් ටමීම් ඉක්බාල්ගේ 25 වන ටෙස්ට් අර්ධ ශතකය පන්දු 46 කදි වාර්තාවූ අතර ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 52 කට දැවී ගියේය. හයේ පහරකින් සහ හතරේ පහර හයකින් සිය ඉනිම අලංකාර කළ ටමීම් ඉක්බාල් පළමු කඩුල්ල සදහා ඉම්රුල් කේයිස් සමගින් එක්ව ලකුණු 72 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
දිවා ආහාරයට පෙර ලක්ෂාන් සඳකැන් යවන ලද අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු ඉම්රුල් කේයිස් ලකුණු 40 කට දැවීයන විට දෙවැනි කඩුල්ල සදහා මොමිනුල් හක් සමගින් එක්ව ලකුණු 48 ක සම්බන්දතාවයක්ද ගොඩනගා තිබුණි.
මොමිනුල් හක් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 236 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මුෂ්ෆිකුර් රහීම් ශතකයට ලකුණු 8 ක් මෙපිටින් දැවී ගියේය. සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් දෙමින් දැවීයනවිට පන්දු 192 කට මුහුණදුන් මුෂ්ෆිකුර් රහීම්ගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය. මුෂ්ෆිකුර් රහීම් දැවීයාමෙන් පසුව පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි ලිටන් දාස්ට පන්දුවට පහරදීමට ලැබුණේ එක් පන්දුවක් පමණි. සුරංග ලක්මාල් එවූ පන්දුවක් පිට ඉන්නෙන් ඉවතට ඇදී යනු ඇතැයි සිතු ලිටන් දාස් පන්දුව නිදැල්ලේ යෑමට සැලැස්වූවද නොසිතූ ආකාරයෙන් පන්දුව කඩුල්ල සොයා පැමිණිම නිසා ඔහුට ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර බංග්ලාදේශ පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් 8 වැනි ඕවරයේදීම දඟපන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා පන්දු යැවීම සදහා කැඳවීට නායක චන්දිමාල්ට සිදුවිය. වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සහ දඟපන්දු යවන්නන් සිවුදෙනෙකු යොදාගත්තද තණතීරුවෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගැනීමට පන්දු යවන්නෝ අපොහොසත් වූහ.
පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බවත් තණතීරුව දඟපන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලබාදෙනු ඇති බවත් කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව බංග්ලාදේශ නායකයා පැවසීය. සකීබ් අල් හසන් අපිට වඩාත්ම අවශ්‍ය ක්‍රීඩකයකු බවත් ඔහු නොමැතිවීම බලවත් පාඩුවක් යැයි බංග්ලාදේශ නායකයා වැඩිදුරටත් පැවසීය. සුන්සමුල් ඉස්ලාම් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට අද සමත්විය.
තුන්කොන් තරගාවලිය දිනාගැනීමෙන් පසුව ඉහළ මානසික මට්ටමක පසුවන නමුත් එක්දින තරග වලට වඩා ටෙස්ට් තරග හාත්පසින්ම වෙනස් බව කාසියේ වාසිය පරාජය විමෙන් පසුව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවසීය. තරුණ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කණ්ඩායම තුල සිටින අතර ඔවුන් සමගින් තරගය හොදින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද චන්දිමාල් කීවේය.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාද් පළමුව පන්දුවට පහරදිමට තීරණය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.