Last Update  :  2024-10-18 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිලේ වෙනස්කමක්
කාන්තා වි:20 ලෝක කුසලාන

ශ්‍රී ලංකා පිලේ වෙනස්කමක්

editorial - 2024 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ශූරියන් ලෙස කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මඳ වේග පන්දු යවන ක්‍රීඩිකා කාව්‍යා කාවින්දි වෙනුවෙට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර සංචිතයට කැඳවමනි. 

තවමත් 21 වැනි වියේ පසුවන කාව්‍යා, මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 10 කදී කඩුලු 10 ක් දවාගැනීමට සමත්ව ඇති අතර ඇය ආසියානු කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කළේ මැලේසියාවට එරෙහිව පැවැති තරගයට පමණි. එහිදී නිලකුණු ඕවරයක් සමග ඕවර 3.5 ක් යැවූ කාව්‍යා ලකුණු 7 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් වූවාය. 

කාව්‍යා වෙනුවට සංචිතයට ඇතුළත්ව සිටින ඉනෝකා, විස්සයි-20 ජාත්‍යන්තර තරග 82 කදී කඩුලු 91 ක් බිඳහෙළා ඇති අතර අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නියන් අතර 6 වැනි ස්ථානයද හිමිකරගෙන ඇත. මේ වන විට 38 වැනි වියේ පසුවන ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දෙවැනි වැඩිමහල්ම ක්‍රීඩිකාවද වන්නීය. 

මෙම වෙනස්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කියා සිටියේ ජූනි මස පැවැති කොදෙව් තරගාවලියෙන් පසුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු විවේක ගන්වමින් නවක ක්‍රීඩිකාවන් අත්හදා බැලීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකා කණ්ඩායම නිරත වූ බවය. එහෙත් ලෝක කුසලාන තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් කණ්ඩායමට අවශ්‍ය බැවින් ඉනෝකා යළිත් කණ්ඩායමට කැඳවා ඇති බවද නායිකාව කියා සිටියාය. 

ඔක්තෝබර් මස 3 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන මෙවර කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස 23 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය එරට පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යෑමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව කටයුතු කළේය. 

‘ඒ’ කාණ්ඩය යටතේ තරගවදින ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වන තරග 3 ක් සාජා ක්‍රීඩාංගණයේදීද, එක් තරගයක් ඩුබායි ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. හිටපු ලෝක ශූරියන් වන ඕස්ටේ්‍රලියාව සමගින් ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් වේ. මූලික වටය අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පළමු කණ්ඩායම් 2 අතරට පිවිසීමට සමත්වුව හොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදා වනු ඇත. 


ශ්‍රී ලංකා කාන්තා සංචිතය 
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විෂ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කෞෂල්‍යා, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා සහ සුගන්දිකා කුමාරි

අතිරේක 
කෞෂිනී නුත්‍යංගනා 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලේ වෙනස්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.