Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යෞවනයෝ පළමු තරගය දිනති
1 වැනි එක්දින තරගය

ශ්‍රී ලංකා යෞවනයෝ පළමු තරගය දිනති

editorial - 2024 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මලිත් පෙරේරා (නොදැවී 58) සහ දිනිරු අබේවික්‍රමසිංහ (52) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 89 ක සම්බන්ධතාව, තරගයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න අවසානයේදී තීරණය කළේය. ලන්ඩනයට ඊසාන දෙසින් පිහිටි චෙම්ස්ෆර්ඞ් නුවරදී සිකුරාදා (28 වැනිදා) පැවැති පළමු වැනි නිල නොවන එක්දින තරගයේදී, එංගලන්ත යොවුන් පිල හමුවේ, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 65 ක පහසු ජයක් අත්කර ගත්හ.

ලකුණු 295 ක ඉලක්කයක් කරා යමින් සිටි එංගලන්ත යොවුන් පිල වෙනුවෙන් නෝවා තායින් සහ නායක ලූක් බෙන්කන්ස්ටයින් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් පන්දු හතක් ඇතුළත දෙදෙනාම දැවී යාම නිසා තරගයේ වාසිය ශ්‍රී ලංකා යොවුන් පිල වෙත නැඹුරු විය. 

සිය පියා වන ඬේල් බෙන්කන්ස්ටයින් (දකුණු අප්‍රිකානු ජාතිකයෙකි) මෙන්ම අලංකාර පිතිකරුවකු වන ලූක් පන්දු 50 කින් ලකුණු 51 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සරසමිනි. මේ අතරවාරයේදී නෝවා තායින් සිය එසෙක්ස් ප්‍රාන්ත සගයාට කදිම සහයෝගයක් දෙමින් සිය කඩුල්ල රැකගත්තේ පන්දු 69 කින් ලකුණු 58 ක් රැස්කරමිනි. මේ දෙදෙනාම එසෙක්ස් ප්‍රාන්තයේ දෙවැනි පෙළ කණ්ඩායම් නියෝජනය කරති. 

ලූක් සහ නෝවා දැවී යාමෙන් පසුව තරගය ජයගැනීමට නම්, එංගලන්ත යොවුන් පිතිකරුවන්ට ඕවර 20 කින් ලකුණු 132 ක් අවශ්‍ය වූ අතර, අන්තර්ජාතික අත්දැකීම් අඩු, තරුණ කණ්ඩායමකට එය පහසු අභියෝගයක් නොවීය. එතැනින් තරගයේ ග්‍රහණය දැඩිකළ ශ්‍රී ලංකා යෞවනයෝ ලකුණු 72 ක් ඇතුළත අවසන් කඩලු හතම බිම දමමින් තරගය ජයගත්හ. 

තරග 3 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකා යෞවනයෝ ඉදිරියෙන් සිටිති. 
පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා යොවුන් ඉනිම අර්ධ ශතක තුනක් මත ගොඩනැඟිණ. 

කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වන ශාරුජන් ශන්මුගනාදන් පන්දු 75 කින් ලකුණු 57 ක් ලබාගත්තේ ඉනිමේ නැංගුරම රඳවාගෙන සිටීමේ වගකීම බාරගනිමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් වූ නමුත් ඒවා කල්යල් බලා ගැසූ හතරේ පහර විය. නායක දිනුර කළුපහන සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක් එක්කළ ශාරුජන්, දැවී යාමට පෙර මහීත් පෙරේරා සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ද තවත් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. 

ශාරුජන් දැවී යාමෙන් පසුව ඉනිමේ බර කරට ගත් මහීත් පෙරේරා (පන්දු 60 කින් ලකුණු 58) සහ දිනිරු අබේවික්‍රමසිංහ (පන්දු 37 කින් ලකුණු 52) එක්ව කළ පිතිහරඹය නිසා පන්දු 67 කින් ලකුණු 89 ක් ශ්‍රී ලංකා යොවුන් පිලට එක්විය. 

තරගයේ ජය පරාජය විසඳුනු රේඛාව දිවගියේ එතැනිනි. 

මෙම තරගයේදී එංගලන්ත යොවුන් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කේෂණ ෆොන්ස්කා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකි. තවමත් 16 හැවිරිදි වූවත්, සිය මංගල යොවුන් අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කළ රොකී ෆිලින්ටොෆ් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ගේ පුත්‍රයාය. 


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනයෝ පළමු තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.