Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 202 ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 202 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති සිවුවැනි නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 202 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිය තිබියදීම 4-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත්ව සිටිති.

ජයග්‍රහණය සඳහා ලකුණු 354 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම ඕවර 30.4 ක් අවසානයේ ලකුණු 151 කට සීමා කිරීමට ඉසුරු උදාන සහ කමිඳු මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදාන ලකුණු 33 කට කඩුලු 3 ක්ද, මෙන්ඩිස් ලකුණු 34 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් අයර්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ උදාන, ඉන් නොනැවතී ලෝකන් ටකර්ගේ ඉනිමද ලකුණු 19 කට සීමා කළේය. පන්දු 29 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 31 ක් ලබා සිටි සිමි සිං කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දසුන් ශානක සමත් විය.

නායක හැරී ටෙක්ටර් (17) දුවද්දී දවාගැනීමට චාමික කරුණාරත්න සමත් වූ අතර අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමේ මැද පිතිකරුවන්ට හිස එසවීමට කමිඳු මෙන්ඩිස් ඉඩක් ලබා නොදුන්නේය. පසු පෙළ පිතිකරුවන් දමනය කිරීමට සඳහා මෙන්ඩිස්ට අනගි සහාක් දුන් චතුරංගද සිල්වා ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, අවිෂ්ක ප්‍රනාන්දුගේ අගනා ශතකය (139) හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 353 ක් ලබා ගත්තේය. එහිදී පන්දු 118 කට මුහුණදුන් අවිෂ්ක හයේ පහර 7 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 139 ක් රැස්කළේ අයර්ලන්ත ‘ඒ’ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමිනි.  

මුලු ලකුණු සංඛ්‍යාව 18 ක්ව තිබියදී නායක උපුල් තරංග (11) පිටියෙන් ඉවත් කිරීමට ජෙම්ස් කැමරන් සමත් වූ අතර එතැන් පටන් මිනෝද් භානුක (34) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට අවිෂ්ක සමත් විය. මෙම තරගාවලියේදී අවිෂ්ක ලබාගත් දෙවැනි ශතකය මෙය වන අතර මේ වන විට සහභාගි වී ඇති තරග 4 දී ඔහු ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 411 කි. එහි සාමාන්‍ය 102.75 ක අගයක් ගනී.

භානුකගේ දැවී යෑමෙන් අනතුරුව මිලින්ද සිරිවර්ධන (28) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අවිෂ්ක, ඉන් නොනැවතී දසුන් ශානක (15) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 56 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ෂෝන් ගෙට්කේට්ගේ පන්දුවක් හමුවේ ගැරීත් ඩෙලනි අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක පිටියෙන් ඉවත්ව ගිය අතර එතැන් පටන් වේගවත් පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ පෙරේරා (නොදැවී 56) සහ කමිඳු මෙන්ඩිස් (නොදැවී 50) ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 102 ක නොබිඳුණ සම්බන්ධතාවත් ගොඩනැගූහ.

පන්දු 34 කදී වාර්තා වූ ඇන්ජලෝගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 32 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. ඔවුන්ගේ වේගවත් පිතිහරඹය හමුවේ ලකුණු 350 සීමාව ඉක්මවා යෑමටද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකි විය.

-036

ඡායාරූපය - චතුර එස්.කොඩිකාර


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 202 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.