Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ පළමු තරගය දිනයි
දකුණු අප්‍රිකානු සංචාරය

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු තරගය දිනයි

editorial - 2024 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එවර නම් නුවනිඳු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. බොහෝ අවස්ථාවන්හිදී නිකරුණේ තම කඩුල්ල වීසි කරන දකුණත් පිතිකරුවා ලකුණු 97 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිහරඹයේ කොඳුනාරටිය විය.  

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පොචෙස්ට්‍රෝම් හිදී ඊයේ (31 වැනිදා) පැවැති නිල නොවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 93 ක පහසු ජයක් අත්කර ගත්තේය. ලකුණු 299 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිම ලකුණු 205 දී අවසන් විය. තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. 

නුවනිඳු ප්‍රනාන්දු (97) සහ කමිල් මිෂාර (71) දෙදෙනා කළ අගනා පිතිහරඹයත්, වනුජ සහන් (41/3) සහ දුෂාන් හේමන්ත (34/3) කළ විශිෂ්ට පන්දු යැවීමත් මෙම තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණයට දොරටු විවර කර දුන්හ. වනුජ සහන් සහ දුෂාන් හේමන්ත දෙදෙනා වැඩිදුරටත් පැහැදිළි කර දුන්නේ හොඳ දඟ පන්දු යවන්නන් දෙදෙනකුට ශ්‍රී ලංකාවේදී පමණක් නොව මුහුදෙන් එතෙර වුව කණ්ඩායමක් ජයග්‍රහණය කරා කැඳවාගෙන යා හැකි බවයි. 

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තේය. ඕවර 5 ක් ඇතුළත දකුණු අප්‍රිකානුවන් තමන්ගේ පළමු සාර්ථකත්වය ලබාගත්තේ ළහිරු උදාර ලකුණු 05 කට දවාගනිමිනි. එහෙත් කමිල් මිෂාර සහ නුවනිඳු එක්ව තත්ත්වය වෙනස් කළහ. 

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කමිල් මිෂාර සහ අංක 3 පිතිකරු නුවනිඳු දෙදෙනා ලකුණු වේගය 5.01 ඉක්මවා තබාගනිමින් ලකුණු ලබාගත්හ. පන්දු 75 කින් ලකුණු 71 ක් ලබාගත් කමිල් මිෂාරගේ ඉනිමට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. 

සහන් ආරච්චිගේ සහ නුවනිඳු අතර ලකුණු 51 ක සම්බන්ධතාවක් පැවැති නමුත් එහිදී සහන්ගේ දායකත්වය ලකුණු 15 කි. 

ලකුණු 97 ක් ලබාගත් නුවනිඳු මුහුණ දුන් පන්දු 101 කින් 9 ක් (4 ං 8 සහ 6 ං 1) හතරේ සීමාවෙන් එපිටට යැවූ අතර දකුණත් පිතිකරුවා දැවී යන විට ලකුණු සංඛ්‍යාව 236 ක් විය. එතැන් සිට ඉනිමේ නිමාවට ඉතිරිව තිබුණේ ඕවර 7 ක් වූ නමුත් චමිඳු වික්‍රමසිංහගේ ධෛර්යවත් පිතිහරඹය හේතුවෙන් පන්දු 43 කින් ලකුණු 62 ක් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එක්විය. 

ලකුණු 299 ක ඉලක්කයක් කරා යාමේදී ටෝනි ඩි’සෝසි (53) සහ මැතිව් බී්‍රට්ස්කි (28) දෙදෙනා පමණක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරමක හිසරදයක් වූහ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක් එක්කිරීමට මේ දෙදෙනා සමත් වූවද එතැන් පසුව තරගයේ පාලනය අතට ගත් වනුජ සහන් සහ දුෂාන් හේමන්ත එක්ව තරගයට කඩුලු දවාගන්නට වූහ. 

වනුජ සහන් වමතින් දඟ පන්දු යවන්නෙකි. දකුණතින් පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත එක්දින අන්තර්ජාතික තරග 5 කට සහභාගි වූ පළපුරුදු ක්‍රීඩකයෙකි. වඩාත් වැදගත් කාරණාව වන්නේ මෙම තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් දඟ පන්දු යවන්නන් 4 දෙනකු ක්‍රීඩා කිරීමයි. වනුජ සහන් සහ දුෂාන් හේමන්ත දෙදෙනාට අමතරව සහන් ආරච්චිගේ සහ සොනාල් දිනූෂත් මෙම තරගයේදී ක්‍රීඩා කළහ. ඉදිරිපෙළ පිතිකරුවකු වන නුවනිඳු ප්‍රනාන්දු ද අවස්ථානුකූලව පිට දඟ පන්දු යවන්නෙකි.

දකුණු අප්‍රිකානු සංචාරයකට යාමේදී වේග පන්දු යවන්නන්ගෙන් කණ්ඩායම පුරවන නමුත් මෙවර සංචාරයට එක්ව සිටින දඟ පන්දු යවන්නෝ වෙනත් පණිවුඩයක් ගෙනෙති. ඉනිමේ අඩක් නිමාවීමටත් පෙර දකුණු අප්‍රිකානුවන්ගේ 6 වැනි කඩුල්ලත් බිඳවැටීමෙන් පසුව එතැන් සිට ජයග්‍රහණය කාටද යන්න විමසීමට අවශ්‍ය නොවීය. 

දෙපිල අතර දෙවැනි නිල නොවන එක්දින තරගය හෙට (02 වැනිදා) පොචෙස්ට්‍රෝම් හිදී පැවැත්වෙයි. 


ශ්‍රී ලංකා ඒ’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ට 298 යි
(කමිල් මිෂාර 71, නුවනිඳු ප්‍රනාන්දු 97, සහන් ආරච්චිගේ 15, චමිඳු වික්‍රමසිංහ 55, වනුජ සහන් 10, ටි්‍රස්ටන් ලූස් 72/3, ඊතන් බොෂ් 60/2, ඇන්ඩිල් පෙලුක්වායෝ 38/3)

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම - ඕවර 36.5 කදී සියලු දෙනා දැවී 205
(ඬේවිඞ් බෙඩිංහැම් 13, ටෝනි ඩි’සෝසි 53, මැතිව් බී්‍රට්ස්කි 28, ඩිවෝල්ඞ් බ්‍රෙවිස් 39, මිකායිල් ප්‍රින්ස් 24, ඊතන් බොෂ් නොදැවී 32, වනුජ සහන් 41/3, දුෂාන් හේමන්ත 34/3)


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු තරගය දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.