Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අනුශූරතාව හිමිකරගනී

ශ්‍රී ලංකාව අනුශූරතාව හිමිකරගනී

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන අවුරුදු 20න් පහළ කනිෂ්ට රග්බි ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 36-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිවිය.

පසුගිය වසරේ ශූරතාවට හිමිකම් කී ශ්‍රී ලංකාව එය රැකගැනීමේ අරමුණින් මෙවර තරගාවලියට එක්වූ අතර මූලික වටයේ සිට අවසන් තරගය දක්වා තරග වැදුණේ සිය අපරාජිතභාවය රැකගනිමිනි. එසේ වුවත් ප්‍රබල හොංකොං පිල අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට ඉඩ නොතැබුවේය.

හොංකොං නුවර කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ දී අද නිමාවට පත්වූ මේ තරගාවලියේ මූලික වටයේදී ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග කළ ශ්‍රී ලංකාව පළමු තරගයේදී පිලිපීනය ලකුණු 24-0 කින් පරාජයට පත් කළේය. දෙවැනි තරගයේදී චීනය හමුවේ ජයලැබුවේ ලකුණු 43-7 කිනි. තුන්වැනි තරගයේදී ලකුණු 26-5 කින් මැලේසියාවත්, සිවුවැනි තරගයේදී ලකුණු 28-14 කින් චීනතායිපේ කණ්ඩායමත් පරාජය කරමින් ශ්‍රී ලංකාව කුසලාන වටයේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

කොරියාව සමග පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 33-5ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. හොංකොං පිල අවසන් තරගයට එක්වූයේ චීනතායිපේ පිලට එරෙහිව ලකුණු 41-5 ක ජයක් අත්කරගනිමිනි.

මේ තරගාවලියේ පලඟ ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 21-5 කින් මැලේසියාව පරාජය කළ සිංගප්පූරුව විසිනි. කොරියාව සමග පැවැති තරගයෙන් ලකුණු 19-12 ක ජයක් ලැබූ චීනතායිපේ කණ්ඩායමට තුන්වැනි ස්ථානය අත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නවීන් හීනකංකානම්ගේ උත්සාහක දිනුම් 9 ක් තැබීමට සමත්වීම කැපී පෙනුණ. වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් රැස් කරනු ලැබූ ක්‍රීඩකයා බවට පත්වූයේ හොංකොං පිලේ කිට් ෆොං විසිනි. ඔහු තැබූ උත්සාහක දිනුම් සංඛ්‍යාව 11 කි.

මේ අතර පිරිමි තරගාවලියට සමගාමීව පැවැති අවුරුදු 20 න් පහළ කාන්තා කනිෂ්ට රග්බි තරගාවලියේ ශූරතාව චීනයට හිමිවිය. ලීග් තරගාවලියක් ලෙස පැවැති මේ තරගාවලියේදී චීනය පළමු ස්ථානය දිනාගත් අතර තායිලන්තයට දෙවැනි තැන හිමිවිය. සත්කාරක හොංකොං පිල තුන්වැනි ස්ථානයට පත්විය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අනුශූරතාව හිමිකරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.