Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අවසන් තරගයට

ශ්‍රී ලංකාව අවසන් තරගයට

Nisanka Sandeepani - 2018 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවිමත්, පන්දු රකින්නන්ගේ විශිෂ්ට පන්දු රැකිමත් හමුවේ බංග්ලාදේශයේ ඩකාහිදි අද (25 වැනිදා) පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේදී කඩුලු 10 ක  ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 83 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 11.5 කදී කිසිවකු නොදැවී පහසුවෙන් ඉලක්කය කරා යෑමට හැකිවිය. උපුල් තරංග නොදැවී ලකුණු 39 ක් සහ ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 35 ක් රැස්කරමින් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට සමත්වූහ.
 
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 82 ක් පමණි. බංග්ලාදේශය අඩුම ලකුණු සංඛ්‍යායකට දැවීගිය නවවැනි අවස්ථාව අද තරගයේදී වාර්තාවිය.

දැවීගිය පළමු කඩුලු හතරෙන් තුනකට වගකියූ සුරංග ලක්මාල් හොඳ ආරම්භයක් ලබාදෙමින් බංග්ලාදේශ කණ්ඩායමේ විනාශයට පාර කැපුවේය. 

ලක්මාල් දැමු අඩිතාලම ඉදිරියටත් ගෙනගිය දුෂ්මන්ත චමීර සහ තිසර පෙරේරා කඩුලු දෙක බැගින් දවාගනිමින් බංග්ලාදේශය තවත් අසරණ කිරීමට සමත්වූහ.
 
අවසන් කඩුලු දෙක දවාගත් ලක්ෂාන් සඳකැන් බංග්ලාදේශ ඉනිම ලකුණු 82 කට අවසන් කිරීමට සමත්විය.

ලකුණු 12 ක් ලබාසිටියදී තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල වෙත ලබාදුන් උඩපන්දුව ගිලිහියාම හේතුවෙන් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව මුෂ්ෆිකූර් රහීම් හට හිමිවිය. 

නැවතත් රහීම් ලකුණු 19 ක් ලබාසිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කළ ඉල්ලිම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමට නායක දිනේෂ් චන්දිමාල් පියවර ගත්තේය.
 
පුණරූපන නැරඹීමේදී පන්දුව යම්තමින් පිත්තේ දාරයේ වැදී යන ආකාරය දිස්වීම හේතුවෙන් මුෂ්ෆිකූර් රහීම් දැවී නොයන බවට තෙවැනි විනිසුරු විසින් තීරණය කිරීමත් සමගින් ශ්‍රී ලංකාව සතුව තිබූ එකම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමේ අවස්ථාවද අහිමිව ගියේය.

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 71 ක් ලබාසිටියදී හයවැනි කඩුල්ල ලෙස තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ අබුල් හසන් ලබාදුන් උඩපන්දුව නිරෝෂන් දික්වැල්ල රැකගත් බවට කළ ඉල්ලීම පිළිගනිමින් ප්‍රධාන විනිසුරු විසින් දැවී ගිය බවට තීරණය කළේය.
 
ඉන් සැහිමකට පත්නොවූ අබුල් හසන් අනෙක් අන්තයේ සිටි මුෂ්ෆිකූර් රහීම්ගෙන් විමසිමක් සිදුකරමින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට තීරණය කළේය. පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ යම්තම් වැදීයන ආකාරයක් දිස්වීම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟ විමත් සමගින් බංග්ලාදේශයට විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට තිබූ එකම අවස්ථාවත් අහිමිව ගියේය.

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි කුසල් පෙරේරා සහ නුවන් ප්‍රදිප් අබාධයන්ට ලක්වීම හේතුවෙන් අද තරගයෙන් ඉවත් කර ධනුෂ්ක ගුණතිලක සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවූහ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් තරගය 27 වැනි සෙනසුරාද ඩකාහිදි පැවැත්වීමට නියමිතව ඇත.
 
 

 

තරගය අවසානයේ මොර්තාසා ශ්‍රී ලංකා පුහුණුකරු හතුරුසිංහට සුබ පතමින්...

තරගාවලියේ විශේෂ අවස්ථා 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.